කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය අද (03) දිනයේදී වාර්තා කළා.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වී ඇති අතර, මීට පෙර ඉහළම අගය ලෙස සටහන් වී ඇත්තේ 2025 පෙබරවාරි 18 දින වාර්තා වූ ඒකක 17,193.8 ක අගයයි.

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළ අතර, රුපියල් බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles අතර සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළ අතර, දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු Richard Marles දැනුවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව යළි ඔක්තෝබර් 01 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර, ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

පොසොන් උත්සවය වෙනුවෙන් ආරක්ෂාවට නිලධාරීන් 8,000ක් යොදවයි

අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව මිහින්තලය හා අටමස්ථානය මුලික කොටගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර, ඒ සඳහා පොලිස් නිලධාරින් 8,000ක් යොදවන බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ලබන 08 වැනිදා සිට ඔවුන් රාජකාරිවල යෙදවීමට නියමිත අතර, පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමේ නිලධාරින් සහ ආරක්ෂක කටයුතු සඳහා එම පොලිස් නිලධාරින් යෙදවීමට නියමිතයි.

එට්නා පුපුරා යන විට සංචාරකයින් ආරක්ෂාව සඳහා දිව යයි.

සටහන –
කොලින් හරිශ්චන්ද්‍ර
එට්නා ගිනි කන්ද පුපුරයි
එට්නා පුපුරා යන විට සංචාරකයින් ආරක්ෂාව සඳහා දිව යයි.

ඉහළ උෂ්ණත්ව වායු සහිත අළු සහ පාෂාණ “කිලෝමීටර් කිහිපයක් උස” අහසට ගලා යාමෙන් පසු සඳුදා මවුන්ට් එට්නා හි දැවැන්ත පිපිරීමක් හේතුවෙන් සංචාරකයින්ට ගිනි කන්දෙන් පලා යාමට සිදු වූ බව ඉතාලි බලධාරීන් පවසා තිබේ.

සමාජ මාධ්‍යවල පළ කරන ලද දර්ශනවල පිපිරීමෙන් පසු වේගයෙන් පහළට යන දිගු පෝලිම් ආකාරයෙන් දිව යන සංචාරකයින් පෙන්වන අතර එක් සංචාරක සමාගමක හිමිකරු වෙත සිසිලියානු ගිනි කන්ද පුපුරා යන විට එහි පුද්ගලයින් 40 දෙනෙකු සිටි බව පවසා තිබේ.

ගෝ එට්නා සමඟ මාර්ගෝපදේශකයෙකු වන ගුසෙප් පන්ෆලෝ, ඔහුගේ සංචාරක කණ්ඩායම ට දුරින් දැවැන්ත අළු වලාකුළක් සමඟ එකට එකතු වී තිබුන ආකාරය රූගත කළ බවයි.

“අපිව තෘණ කරන්න ළඟයි, මෙතන මේ වලාකුළ බලන්න. අපි පියවර දෙකක් ඈතින් හිටියා, දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න අපිත් එක්ක වගකිවයුතු මඟ පෙන්වන්නෙක් ඉන්නවා,” ඔහු මාධ්‍ය ආයතන සමඟ බෙදාගත් වීඩියෝවේ සඳහන්වේ.

“එය එකවරම පැමිණියේ, දැවැන්ත දුමාරයක්, දැවැන්ත, දැවැන්ත ඝෝෂාවක්.” සමග

ඕනෑම වේලාවක එට්නා හි සංචාරක ක්‍රියාකරුවන් දුසිමක් පමණ සේවය කරන බව සිසිලියානු සිවිල් ආරක්ෂක ඒජන්සිය මාධ්‍ය වෙත පැවසා තිබෙන අතර, ඔවුන් සියල්ලන්ම ගණන් බලා ඇති බව සහතික කිරීම සඳහා ඔවුන් සියලු දෙනා සම්බන්ධ කර ගන්නා බව පවසා තිබේ.

ඉතාලි දූපතේ ගිනි කන්ද වසරකට මිලියන 1.5 ක ජනතාවක් සංචාරය කරන ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි මුදුනට යන තෙක්ම පාහේ ගමන් කරති.

මවුන්ට් එට්නා ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වුවද, 2014 සිට මෙම විශාලත්වයේ පිපිරීමක් සිදුවී නොමැති බව ජාතික භූ භෞතික විද්‍යා හා ගිනි කඳු නිරීක්ෂණාගාරය පවසයි.

මෙම පිපිරීම් බොහෝ විට ආරම්භ වන විගස නතර වන බව නිරීක්ෂණාගාරය තවදුරටත් පැවසීය, නමුත් පිපිරීම් තවමත් තීව්‍ර තාවයෙන් වැඩි වෙමින් පවතින අතර ගිනි කන්ද ඉතා කුඩා ප්‍රමාණයක් ලාවා සහ ගින්නක් පිට කරයි.

සංචාරකයින් එහි නවතම පිපිරීමෙන් පලා යන විට Mt.Etna වෙතින් දුම් බිංදු නැඟේ.

එක රැයකින් ආරම්භ වූ මෙම පිපිරීම, පිළිවෙලින් කිලෝමීටර් 50ක් සහ කිලෝමීටර් 40ක් (සැතපුම් 31ක් සහ සැතපුම් 25ක්) දුරින් පිහිටි Taormina සහ Catania දක්වා ඈතට ඇසෙන පිපිරීම් ඇති කළ බව සමාජ මාධ්‍යවල දර්ශන පළ කළ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු පවසා තිබේ.

පසුගිය මාස කිහිපය තුළ මෑත පිපිරීම් වලදී දර්ශනීය ලාවා ගලායාමක් ඇති කළ ගිනි කන්දේ ගිනිකොන දිග ආවාටයේ උතුරු පැත්තේ “අර්ධ කඩා වැටීමක්” මූලික නිරීක්ෂණවලින් පෙන්නුම් කරන බව නිරීක්ෂණාගාරය පවසා තිබේ.

සුළඟ වෙනස් වුවහොත් ආවරණය වන ලෙස ජනතාවට අනතුරු ඇඟවීමට බලධාරීන් සූදානම් වුවද, ගිනි කන්ද පාමුල පිහිටි නගරය වන Catania මත අළු කිසිවක් වැටෙන්නේ නැතැයි නගරයේ නගරාධිපති එන්රිකෝ ටැරන්ටිනෝ මාධ්‍ය වෙත පවසා තිබේ.

දැනට සුළඟ එම දිශාවට අළු හමා නොයන බැවින්, කැටානියා සහ පැලර්මෝ හි ආසන්න ගුවන් තොටුපළවල් ද විවෘතව පවතී. සිසිලියානු සිවිල් ආරක්ෂක ඒජන්සිය සියලුම ගුවන් ගමන් සඳහා එම ප්‍රදේශයෙන් වැළකී සිටින ලෙස උපදෙස් දී ඇති අතර, කැටානියාවේ සිට පැමිණෙන සමහර ගුවන් ගමන් පැලර්මෝ වෙත යොමු කර ඇති බව ගුවන් ගමන් රේඩාර් දත්ත වලට අනුව සඳහන් වනවා.

පිපිරීමට ආසන්න වීමට උත්සාහ කරන මොහොතේ පුද්ගලයින් එම දිසාවට ගමන් කිරීම වැළැක්වීම සහ හදිසි වාහනවලට ගමන් කිරීම බාධා කිරීම වැළැක්වීම සඳහා බලධාරීන් ගිනි කන්දට යන බොහෝ මාර්ග වසා දමා ඇති බව ටැරන්ටිනෝ තවදුරටත් පවසා තිබෙනවා.

දේශීය වේලාවෙන් පස්වරු 1 ට පමණ (ET වේලාවෙන් පෙ.ව. 7) ගිනි කන්ද උණුසුම් ලාවා පිට කිරීමට පටන් ගත් අතර එය පෙර පිපිරීම් වලට වඩා අනුකූල බව නිරීක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසූ බව වාර්තාවේ.

නිරීක්ෂණාගාරය ගිනිකඳු ක්‍රියාකාරිත්වය පයිරොක්ලාස්ටික් පිපිරීමක් ලෙස අර්ථ දැක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස “ගිනිකඳු කම්පනයේ සැලකිය යුතු වැඩි වීමක් සහ ඉහළ උෂ්ණත්ව වායූන්, ලාවා, ගිනිකඳු අළු සහ විවිධ ප්‍රමාණයේ පාෂාණ කොටස්වල මාරාන්තික මිශ්‍රණයක් අඩංගු පිපිරුම් තීරුවක් සෑදී ඇති අතර එය ගිනි කන්දේ බෑවුම් දිගේ වේගයෙන් පහළට බැස යයි.”

ගිනිකඳු ක්‍රියාකාරීත්වය තවමත් පවතින නමුත්, ආසන්න ප්‍රදේශවලට විශේෂ තර්ජනයක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කරයි.

Heinrich Klaasen ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක Heinrich Klaasen ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

මෙය ඉතා අපහසු තීරණයක් බවත්, තමාට මෙම තීරණය ගැනීමට බොහෝ කාලයක් ගතවූ බවයි සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු සඳහන් කරන්නේ.

තවමත් 33 වන වියේ පසුවන ඔහු එක්දින තරග 60 කට ක්‍රීඩා කර, ලකුණු 2141 ක් ලබාගෙන ඇති අතර, එයට ශතක 04 ක් හා අර්ධ ශතක 11 ක් ඇතුළත් වෙනවා.

T20 පිටියේදී ඔහු තරග 58 කට ක්‍රීඩා කර, ලකුණු 1000 ක් රැස් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක Glenn Maxwell එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු 2012 වර්ෂයේ එක්දින පිටියට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා එක්දින තරග 149 කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ලකුණු 3990 ක් ලබාගෙන, කඩුලු 77 ක් බිඳ හෙළිමට සමත් වී තිබෙනවා.

කෙසේ නමුත් ඔහු ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තෙක් විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හොරු අල්ලනවා කියලා බොරු සංදර්ශන දාලා, ජීවන වියදම් ගැටලුව වහන්න ආණ්ඩුව උත්සාහ කරනවා – සාගර

ජනතාවට උසුලා ගැනීමට නොහැකි ජීවන වියදම අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ජාතික ජන බලවේගය බලයට පැමිණියේ ජනතාවට අඩු මුදලට ආහාර ‍ලබාදෙන බවට පවසමින් බවත්, මේ වන විට කන්න බොන්න කෙසේ වෙතත් ජනතාවට ‘ලෙවකන්නට’ වන තත්ත්වයට බඩු මිල ඉහළ ගොස් ඇති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ලුණු පැකට්ටුවක මිල රුපියල් 300 ඉක්මවා ඇති බවද, සෑම එළවළු වර්ගයකම මිල ඉහළගොස් ඇති බවද, වත්මන් මාලිමා ආණ්ඩුව රටේ ජනතාවට කන්න බොන්න නැති කළ ආණ්ඩුවක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

හොරු අල්ලන බවට ජනතාවට පවසමින් බොරු සංදර්ශන පවත්වා ජීවන වියදම් ගැටලුව වසා දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

පසුගිය සතියම ආණ්ඩුව ගත කළේ කැරම් ‍බෝඩ් බෙදාදීම නිසා දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලීන්ගේ පිහිටෙන් බවත්, ඔවුන් හිරේට නියම වූයේ මහජන බදු මුදල් සොරකම් කර නොව එම බදු මුදල්වලින් ගමේ ඇති ක්‍රීඩා සමාජවලට කැරම් ‍බෝඩ් බෙදාදීම නිසා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකශ කර සිටියේ.

කොළඹ විපක්ෂයේ නගරාධිපති හෙට දැනුම් දෙනවා – මුජිබර් රහුමාන්

කොළඹ නගර සභාවේ විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව හෙට (03) දිනයේදී දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ අනුව අදාළ අපේක්ෂකයා සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ දැනුවත් කර ඇති බවයි අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම ඉදිරිපත් කරන අපේක්ෂකයාට ස්වාධින කණ්ඩායම් හා දේශපාලන පක්ෂවල සහයෝගය හිමිවන බවට ධනාත්මක ප්‍රතිචාරයක් ඇති බවත්, ඒ අනුව, කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට පිහිටුවීමට හැකිවනු ඇති බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

රට කඩා වැටීමට හේතු ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පෙන්වලා දීලා තියෙනවා – ජනපති

රට කඩා වැටීමට හේතු වූ සාධකයක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබාදුන් තීන්දුවකින් පෙන්නුම් කර ඇති බවත්, මෑතකදී වංචා දූෂණ සඳහා දඬුවම් ලබාදීමේදී ද එය පෙන්නුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ‍හා පොදු ජනයා රට මෙවැනි ආර්ථික කඩා වැටීමකින් අත්දැකීම් ලබාගත යුතු බවයි ‍‍‍’බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රජයට පැවරී ඇති වගකීම වන්නේ, රට කඩා වැටීමට හේතු වූ සාධක හොඳින් හඳුනාගෙන, ඒවා නැවත සිදුවීම වැළැක්වීම බව ද, එලෙස කඩා වැටීමට හේතුවූ ප්‍රධාන කාරණයක් වන්නේ නිසි පරිදි බදු ප්‍රතිසංස්කරණ ඇති කර, බදු එකතු කර ගැනීමට අසමත්වීම බව ද ජනාධිපතිවරයා‍ ප්‍රකාශ කළා.

එම අසමත්වීම අප විසින්ම නිර්මාණය කරගත් කාරණයක් බවත්, කිසිඳු ආර්ථික තීරණයක් දේශපාලන මූලධර්ම මත සිටිමින් නොගන්නා බවත්, සියලු ‍ආර්ථික තීන්දු තීරණ ගනු ලබන්නේ ආර්ථික මූලධර්ම මත බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.