සීසර්වරුන්ට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මූල්‍ය ආයතනවල සීසර්වරුන් පොලිසීය සමඟ එක්ව තවමත් වාහන පැහැරගෙන යාමේ කාර්යයේ නිරත වන බව පවසමින් ලීසීං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය අද (12) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ අනුව පසුගිය රජයෙන් වාහන පැහැරගැනීම නතර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම ගැසට් නිවේදනය යළි ක්‍රියාත්මක කරන ලෙස බවයි ලීසිං හා ණය වාරික සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකළ ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරක් ලබාදී නොමැති බවත්, ජනාධිපතිවරයා ද ලීසිං ආයතනවල මාෆියාවට යට වී ඇද්දැයි සැක සහිත බවයි අසංක රුවන් පොතුපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන ආකාරය ගැන දැනුම්දීමක්

මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධය වෙත නිකුත් කරන බවයි අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15 ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන බවත් පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරන අතර දෙවනුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණනය කරන බවද ඔහු ප්‍රකාශ කළා.

අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරන කරන අතර ඉන් අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වනිඳු හසරං​ග​ට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේ දී පන්දු යවමින් සිටියදී ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන් ඔහුට මෙලෙස එක්දින තරගාවලිය අහිමි වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත එක්දින සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය හෙට (13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

හපුතලේදී දුම්රියෙන් ඇද වැටී තරුණියක් තුවාල ලබයි

දුම්රියේ ගමන්ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන්ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරට ලක්වූ තරුණියව කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් තිබෙනවා.

හපුතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සුජීව සේනසිංහගේ V8 රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ සතුව තිබූ V8 රථය අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ඒ අනුව එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදුකිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ.

ප්‍රශ්නගත ජීප් රථය 2010 වසරේ මෙරටට ගෙන්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ ශ්‍රී රංගාට ලැබුණු තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන් බවත් පසුව මෝටර් රථය ලියාපදිංචි කිරීමෙන් තොරව භාවිතා කිරීමෙන් අනතුරුව අදාළ වාහනය 2011 මාර්තු 30 වනදා සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඉන් පසු 2022 වසරේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නමින් අදාළ වාහනය ලියාපදිංචි කර ඇති බවත් ප්‍රශ්නගත ජීප් රථය කැලණිය ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ ස්ථානයකට යොමුකර කොටස් කිහිපයක් එකලස් කිරීම සිදුකර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අදාළ සුඛෝපභෝගී මෝටර් රථය අධිකරණය භාරයට පත්කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී ජීප් රථය CID භාරයට ගන්නැයි අධීකරණයෙන් නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කළු පැහැති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෝසමක් අද (11) සලකා බැලූ අවස්ථාවේදී එම නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර අවසර දී තිබුණු අතර, එය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැගෙන යාමට කටයුතු කර තිබුණා.

ජනාධිපතිතුමනි ඔබතුමා දුන්නු පොරොන්දු ටික කෙඳිරි නොගා ජනතාවට ලබා දෙන්න – ජොන්ස්ටන්

ජනාධිපතිතුමනි ඔබතුමා දුන්නු පොරොන්දු ටික කෙඳිරි නොගා ජනතාවට ලබා දෙන්න – ජොන්ස්ටන්

14 සහ 15 දෙදි​න සුරාසැල් වැසෙයි

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍ය විජිත හේරත් ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් කටුනායක ගුවන් තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී ඔහු ගුවන් තොටුපොළේ සියලුම අංශයන් වෙත ගොස්, ඒ ඒ අංශවල සේවකයින් සමග සුහද කතාබහක ද නිරත වී ඇති බව සඳහන් වෙන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නියෝජනය වන පරිදි විශේෂ ඒකකයක් ගුවන් තොටුපොළේ පරිශ්‍රයේ පිහිටුවා, ගුවන් මගීන්ට ගුවන්යානා ප්‍රමාදය ගැන පැය 24 පුරාම ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමටත්, ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් ලබා දීමටත් අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) වන විට ඉවත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත්, ඡන්ද ආයාචනා කිරීමට ගෙයින් ගෙට යෑමද, පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.