සුනිල් කුමාර ගමගේ අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි

නව රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් සුනිල් කුමාර ගමගේ අද (19) ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීම සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පිරිසක් එක්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වෛද්‍ය නලින්ද ජයතිස්ස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කර තිබෙනවා.

එළඹෙන 21 වනදා දස වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පැවැත්වීමට නියමිතයි.

රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදවයි

රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

ඒ අනුව එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි සඳහන් වෙන්නේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව අත්තනෝමතිකව ඔහුගේ නම ඇතුළත් කර ඇති බවයි චෝදනා එල්ල වන්නේ.

ලොහාන්ගේ ඇප ඉල්ලීමේ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට නීතිපතිට කල් ලබාදෙයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට කල් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්න විරෝධතාව ප්‍රකාශ කර ඇති අතර ඒ වෙනුවෙන් කෙටි දිනයක් ලබා දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව නොවැම්බර් 29 වනදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

අගමැති පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ආචාර්ය හරිනි අමරසුරිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

673c18f8d3c6bpdf_page_0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

නව රජයේ 22 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) පෙරවරුවේ දිවුරුම් දී තිබුණා.

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8 ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව​ට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා රවී කරුණානායක නම් කර මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තවමත් අයෙක් නම් කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

න​ව ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානාය​ක කටයුතු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක නව අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

එසේම ඔහු මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

න​ව පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි

වෛද්‍ය ධම්මික පටබැඳි නව පරිසර අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබෙනවා.