නව රජයට සහ ජනපති අනුර කුමාර දිසානායකට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙනවා – ජපාන තානාපති

ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

එහිදී ජපාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කර ඇති අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ජපානය අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳවද තානාපතිවරයා විසින් ජපාන රජයේ ප්‍රශංසාව පළ කර ඇති අතර, ශ්‍රී ලංකා නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව ද එහිදී සඳහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් දින 03 ක වැඩමුළුවක්

10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා.

මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ති‍බෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද, දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව ද, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්වය හා කාර්යයන් පිළිබඳව ද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

IMF තෙවන සමාලෝචනයේ නිල ප්‍රකාශය දැනුම්දීම අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එහි නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.

තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී දැනුම්දීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනු අතර, ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබුණා.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ වැඩ භාරගනියි

නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ අද (22) නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්ථාවට නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,  අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිට තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහභාගී වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67407a9dae7e1pdf_page_0

ආන්දෝලනාත්ම​ක අපරාධයන්හි වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙනෙ​න බව​ට සහතික කරනවා – ජනපති

ලංකාවේ ආන්දෝලනයට තුඩුදී ඇති අපරාධ විශාල ප්‍රමාණයක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කාලයේ වැලිතලාවෙන් ඒවා වැසී යනු ඇති ඇතැයි අපරාධකරුවන් සිතනවා නම් එය නීතිය සම්බන්ධයෙන් ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳවැට්ටවීමක් බවයි අද (21) දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව ජනතාව කෙරෙහි නීතිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කිරීමට නම් එම අපරාධ සම්බන්ධයෙන් යළි විමර්ශනය කර වින්දිතයන්ට සාධාරණත්වය සහ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එවැනි අපරාධයන් සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කර ඔවුන් නීතිය හමුවට ගෙනගොස් වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවට සහතික වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙනවා – ජනපති

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකළා.

එහිදී ප්‍රකාශ කළ වැදගත් කරුණු කිහිපයක් පහතින්,

* යහපත් පුරවැසියන් පිරිසක් නිර්මාණය කරගැනීම සඳහා Clean Sri Lanka වැඩසටහන නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මගින් ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

* ග්‍රාමීය, නාගරික සහ කඳුකර ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීම සඳහා අස්වැසුම එළැඹෙන අයවැයෙන් සාධාරණ ගණනකින් වැඩි කරනවා.

*  පාසල් උපකරණ සහ පොත් මිලදී ගැනීම සඳහා දුෂ්කරතාවෙන් පෙලෙන පවුල්වල දරුවන් සඳහා අලුත් අවුරුද්ද ආරම්භයේදී දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

* විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබාදීම ඇරඹුවා

* එළැඹෙන අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවකයින්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරනවා.

* ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමට කටයුතු කරනවා.

* අවුරුදු පහට අඩු ළදරු මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් සිටින පවුල් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙලක් අරඹනවා.

* ආබාධිත දරුවන් සිටින පවුල්වලට දරුවන් බලාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

සමූපාකාර ජාලය ශක්තිමත් කර යළි තරගකාරී ලෙස වෙළඳපොළට අවතීර්ණ කරනවා – ජනපති

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකළා.එහිදී ප්‍රකාශ කළ වැදගත් කරුණු කිහිපයක් පහතින්,

* අද අපේ රටේ ආර්ථිකය හැසිරෙන්නේ වෙළඳපොළ ඒකාධිකාරය මත. භාණ්ඩවල මිල උච්චාවචනය කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා.

* වෙළඳපොළ හැසිරීම යළි ප්‍රතිස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා.

* භාණ්ඩ සහ සේවා අඛණ්ඩවත්, ගුණාත්මකවත්, සාධාරණ මිලකටත් ජනතාවට ලබාදීමේ රජයේ වගකීම වෙනුවෙන් යාන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක කරනවා.

* එහිදී සමහර ක්ෂේත්‍රයන්හි වෙළඳපොලේ නිදහස් තරගකාරීත්වය හරහාත්, ඇතැම් ක්ෂේත්‍රයන් නියාමන ආයතන හරහා වෙළඳපොළ හැසිරවීම මගිනුත් ප්‍රතිඵල ලබාගන්න බලාපොරොත්තු වෙනවා.

* ඇතැම් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය පංගුවක් හරහා වෙළඳපොළ හැසිරවීමට කටයුතු කළ යුතුයි.

* බලශක්ති වෙළඳපොල වැනි ආර්ථිකයට ඉතා සංවේදී වෙළඳපොල හි යම් රාජ්‍ය පංගුවක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා.

* එමෙන්ම මූල්‍ය වෙළඳපොලේද යම් රාජ්‍ය පංගුවක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා. එවැනි අත්‍යාවශ්‍ය ස්ථාන කිහිපයක රාජ්‍යය ආම් එකක් ලෙස ක්‍රියා කළ යුතු බව විශ්වාස කරනවා.

* විසිරී ගිය වෙළඳපොල වෙනුවට සංවිධානාත්මක වෙළඳපොලක් ඇතිකරනවා.

* යළි සමූපාකාර ජාලය ශක්තිමත් කර තරගකාරී ලෙස වෙළඳපොළට අවතීර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 ක් දිවුරුම් දෙයි

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු අද (21) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඔවුන් දිවුරුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්.

රමේෂ්, රොෂාන් හා ප්‍රසන්න CIDයට පැමිණෙයි

හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ හා ප්‍රසන්න රණතුංග යන අය අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ඔවුන් මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.