ගුලි‍, ගංජා‍, අයිස් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 25 ක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.

සෝදිසි මෙහෙයුම්වලදි ගංජා, මදනමෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ වසර තුළ අලි මරණ 350 ක්

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින් වන අතර එම සංඛ්‍යාව, 70 කට ආසන්න බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් ඇති අතර හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 ක් සහ දුම්රියේ ගැටී අලි සංඛ්‍යාව, 10 ක් ලෙස වාර්තාවී තිබෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් ගැන විමර්ශන අවසන් කෙරේ

මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධ පොලිස් විමර්ශන අවසන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළා.

ඒ අනුව ඊට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරි නඩු වාරයේදී ඔවුන්ට අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙනු ඇති බවද ඔහු සඳහන් කළා.

යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ හට ලබන ජනවාරි 03 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාවලට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබෙන්නේ.

එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කරනු ලැබුවා.

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් පැය 04 ක කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි සඳහන් වන්නේ.

මීට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබුණු අතර, ඔහු එම අවස්ථාවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් හා කුළුබඩු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

භාවිතා කරන ලද පොල්තෙල් පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම මිරිස් කුඩු, කරපිංචා, කහ ඇතුළු කුළුබඩු වර්ගයන් ද විවිධ ද්‍රව්‍ය කලවම් කර මහජනතාවට අලෙවි කරන බවට වාර්තා වී ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමීර මුතුකුඩ සඳහන් කළේ.

උත්සව සමයේ සෞඛ්‍ය ප්‍රමිතින් සපුරාලීම සහතික කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙසැම්බර් 01 වැනිදා සිට වැටලීම් ආරම්භ කළ අතර, එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසල් 5000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, වෙළෙඳසල් 450කට නඩු පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායමක් ලබා තිබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

පසුගිය 23 වනදා වන විට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 4,427 ක් උපයා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලින් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පින්නවල අලි සුරක්ෂිතාගාරය බවත්, එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 876 ක් බවත් දැක්වෙනවා.

ශ්‍රීලනිපය තනි පක්ෂයක් ලෙස ‘අත’ ලකුණින් ඉදිරියේදී තරග කරනවා – දුමින්ද දිසානායක

මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙසින් ‘අත’ සලකුණින් මැතිවරණවලට තරග කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක පවසනවා.

ජනතාව බලාපොරොත්තු වන්නේ පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවා.

මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කරනවා – නලින්ද ජයතිස්ස

සුදුසු සංවර්ධන සැළැස්මක් ක්‍රියාත්මක කරමින්, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, මෙය ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද වෙනවා.

අමාත්‍යවරයා මෙහිදී රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින්, අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක ද නිරත වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුවක් විසින් එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස් කරමින් සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

උත්සව සමය තුළ කොළඹ නගරයේ කැළිකසළ එකතුවීම ඉහළට

උත්සව සමයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.

දෛනිකව ටොන් 420ත් 450ත් අතර ප්‍රමාණයක කසළ ප්‍රමාණයක් එකතු වන බවත්, නමුත් මෙම මාසය අවසන් වනවිට එම ප්‍රමාණය වැඩිවිය හැකි බවයි කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ.

දෙසැම්බර් 31 වැනිදා වනවිට කොළඹ නගරයට පැමිණෙන අතිවිශාල ජන සංඛ්‍යාව නිසා ඉහත කසළ ප්‍රමාණය ටොන් 500ක් පමණ විය හැකි යැයි පුරෝකථනය කර ඇති බවයි කොමසාරිස්වරයා වැඩිදුර‍ටත් පවසා සිටින්නේ.

ගාලු කොටු පවුරේ පැරණි කොටු දොරකඩ දින හතරක් සඳහා තාවකාලිකව වසා තැබේ

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ දින හතරක් සඳහා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව, පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ රසායනික සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම පැරණි කොටු දොරකඩ අද (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

මෙම කාල සීමාව තුලදී ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.