තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ…

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17)  දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත.

බස් රථයක ගැටී ග්‍රාම නිලධාරීවරයෙකු මරුට……

මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන මාතලේ රත්තොට කයිකාවල ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරීවරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි….

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වනපරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබුණි.

ඒ අනුව, ඊයේ (15) සවස් කාලයේ වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගැනුණි.

සැකකරුවන් අද (16) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ…..

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අද (16) රන්දෝලි මහා පෙරහර රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග මූලික කරගෙන වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දකුණු වාහල්කඩින් පිටත්ව බෙල්ලන්තර හන්දියෙන් කීල්ස් වටරවුම දක්වා ගමන් කර මාර්ග අංක 117 විහාර මාවත හන්දියෙන් විහාර මාවතට ගමන් කර මාර්ග අංක 119 විහාර මාවත දක්වා විහාරයේ දකුණු වාහල්කඩින් විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමියතය.

පෙරහර ගමන් ගන්නා කාලය තුළ පහත ස්ථානවලින් රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබයි.

ඉංජිනේරු හිඟය ගැන විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්….

පසුගිය වසර කිහිපයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැරගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු එලෙස රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

සංඛ්‍යා දත්තවලට අනුව මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ  සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.

ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර තවත් සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් වන අතර සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් ද වන බව සඳහන්ය.

මේ අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, අභ්‍යන්තර ඉංජිනේරුවන් සිටියදී නව ඉංජිනේරුවන් 60 දෙනෙකු බඳවාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවය.

ඒ අනුව එම බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝණය වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තැපැල් සේවකයින් හෙට වර්ජනයට සැරසෙයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු  සහභාගී නොවන බව  තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ඒ අනුව එම කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුවන බැවින් මහජනතාවට එමගින් සේවාවන් ලබා ගත හැකි බවය.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සිදුකරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාදයට ලක්විය හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පාදුක්ක පොලිසියේදී යකා නැටූ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට….

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ හිටපු ප්‍රාදේශිය සභා සභිකයාගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටී ඊයේ (15) පස්වරුවේ අනතුරක් සිදුව තිබුණි.

මේ හේතුවෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කළ අතර මොටර් රථයද පොලිස් භාරයට ගැණුනි.

කෙසේවෙතත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණි සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ සභිකයෙක් පොලිස් නිලධාරින්ට බැන වැදී තිබුණි.

එහිදී පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදීමට ඔු උත්සාහ දරා ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව සිර මැදිරියට ඇතුළු කිරීමට පොලීසිය කටයුතු කළේය.

නමුත් එහිදී තමාට අසනීප බවත් සිර මැදිරියේ රැඳී සිටීමට නොහැකි බවත් පැවසීහ හේතුවෙන් පොලිසිය සැකකරුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල තුළත් සැකකරු කලහකාරි ලෙස හැසිරුණු බව වාර්තා වෙයි.

මේවන විට සැකකරු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාත් එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට පත් මෝටර් රථයේ රියදුරු මෙම සැකකරුගේ හිතවතෙක් වන අතර  ඔවුන් දෙදෙනා ඊයේ සවස මත්පැන් පානය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සීතාවක ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජතික පක්ෂයේ සභිකයෙකු සහ පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ⁣අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

දිවයින පුරා සිදුකරන විශේෂ පොලිස් මෙහෙයුම – සැකපිට 689ක් අත්අඩංගුවට…

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ පොලිස් මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) දිනය තුළ සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන් 242 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 158ක් බව පොලීසිය පවසයි.

මේ අතර බීමත් රියදුරන් 100ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුනය ගෙන ඇත.

රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,635ක් සඳහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.

මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව……

මීළඟ වසර දෙක තුළ රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යළි පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, චැනල් නිවුස් ඒෂියා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධාන කළ ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විය.

මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් මෙහිදී ප්‍රධාන දේශන ඉදිරිපත් කළහ.

එමෙන්ම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිංගප්පූරුවේදී චැනල් නිවුස් ඒෂියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

මේ අතර අමෙරිකාව පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 16,000කට ආසන්න ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහන් කළේය.

මේ අතර මෙරට ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත් විය.

ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය සටහන් වූයේ එය ඒකක 20,218.36ක් ලෙසිනි.

එමෙන්ම අද දින රු. බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තාවීම විශේෂත්වයකි.

අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වෙනිදා…..

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර ඇති බවය.

ඒ අනුව අනිද්දා පස්වරු 5ට මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.