හැටන් වික්ටර්න් මාර්ගයේ පාලමක් ගිලාබැසීමේ ප්‍රවෘත්තිය විකාශනය වීමත් අඹගමු ප්‍රාදේශීය සභාවේ සභාපති වහාම ක්‍රියාත්මක වෙයි

හැටන් සිට වික්ටර්න් වත්තට යන පාර පාලමක් ගිලා බැහැලා අවුරුද්දයි අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවමත් විසඳුම් නෑ මහජනතාවගෙන් මැසිවිලි .

ඊයේ දිනය මෙම ප්‍රවෘත්තිය විකාශනය වීමත් සමගම අඹගමුව ප්‍රාදේශීය සභා සමගි ජන බලවේග සභාපති කපිල නාකන්දල මහතා අද දින එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණියාය .

එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මෙම පාලම සුද්දාගේ කාලයේ නිර්මාණය කරන පාලමක් බවත් මෙය නවීකරණය කිරීමට විශාල මුදලක් සභාවෙන් වැය කිරීමට සිදුවන බවත් අගෝස්තු මස පලවන දින දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බැවින් මෙම ගැටලුව එම කමිටුවට ඉදිරිපත් කර ඉතා ඉක්මන් විසඳුමක් වික්ටර්න් වතුයායේ ජනතාවට  සලසා දෙන බවයි.

IMG-20250729-WA0016 IMG-20250729-WA0017 IMG-20250729-WA0018 IMG-20250729-WA0019

ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්

නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ජුලි 28දින අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු වු අතර ලංකාවේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණ ත්‍රිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් තානාපතිනිය මෙහිදි පැවසුවාය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, අභියෝග ජය ගැනීම සඳහා නෙදර්ලන්ත රජය සහයෝගය ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී අවධාරණය කළාය.

නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් සහය පිලිබඳව සතුටු වන බවත්, ඉදිරියටත් නෙදර්ලන්තයේ සහය ශ්‍රි ලංකාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා ය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක නාමල් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිවංකා අතුරලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

බෝනොවන රෝග පාලනයට ව්‍යායාමවල යෙදීමේ අතිශය වැදගත්කම ජනතාවට කියා දෙමින්, ක්‍රියාශීලී නීරෝගීමත් ජීවන රටාවකට මෙරට ජනතාව යොමුකරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරනු ලබන කාර්යභාරය විශිෂ්ටයි. -සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි-

වර්තමානය වන විට මෙරට ජීවත්වන ජනතාව අතර යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන බෝනොවන රෝග පාලනයටත්, ඉන් ආරක්ෂා වීම සදහාත් ව්‍යායාමවල යෙදීමේ  අතිශය වැදගත්කම  පිළිබඳව ජනතාව දැනුවත් කර  ශාරීරික සුවතා  ක්‍රියාකාරකම්වලට ජනතාව හුරුකරවමින්, සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී නීරෝගීමත්  ජීවන රටාවක් සඳහා මෙරට ජනතාව යොමුකරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගන්නා ප්‍රයත්නය කාලීන ව අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසී ය.

 

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ  ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිණි. සැසිවාරය පසුගිය දා  කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

 

පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය  කළමනාකරණය කරමින් අවශ්‍ය උපදේශනය, මඟපෙන්වීම ඇතුළු සියලු සහාය ලබා දෙමින් මෙරට මලල ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවන්හි වර්තමාන සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී විශිෂ්ට කාර්යභාරයක් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්  ඉටුකරන බව නියෝජ්‍ය  අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

 

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල්හි  ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකක යම් ප්‍රමාණයක් මේ වන විට ස්ථාපිත කර ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනයට,ප්‍රවර්ධනයට සහ සුරක්ෂිතතාවයට මෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනය ද ට  විශාල දායකත්වයක් ලබා දෙන බව ද පැවසී ය.

 

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට ගෝලීය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් පවතින බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙරට තුළ ද දශක තුනකට එහා ගිය ඉතිහාසයක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට පවතින බව ද සඳහන් කර සිටියේ ය. මෙරට වර්තමානය වන  විට  ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සුවිශේෂී ප්‍රගතියක් අත්කර ‌ගෙන තිබෙන බවත්,  සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන රෝග නිවාරණ හා ප්‍රතිකාර ක්‍රියාවලියේ දී  එම සුවිශේෂී ප්‍රගතිය ඉමහත් දායකත්වයක් ලබා දෙන බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ය.

 

මෙවැනි වාර්ෂික අධ්‍යයන සැසිවාර ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනුම බෙදාගැනීමට මෙන් ම දැනුම වර්ධනය කර ගැනීමට බෙහෙවින් උපකාරීවන බවත්, 2025 අධ්‍යයන සැසිවාරයේ තේමාව වන”ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමෙන් අස්ථි සහ පේෂීවලට සිදුවිය හැකි අනතුරු වළකාලමින් මානව දේහ ක්‍රියාකාරීත්වය තවත් ප්‍රවර්ධනය කරමින්, මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීමට දායක වේ.”යන තේමාව ඉතා කාලෝචිත තේමාවක් බව ද සදහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශීය රටවල් කිහිපයක් නියෝජනය කරමින්  මහාචාර්යවරුන්, විද්වතුන් මෙම අධ්‍යයන සැසිවාරයට සහභාගි වී  දැනුමින් සියලුදෙනා පෝෂණය කිරීමට දායකත්වය ලබා දීම පිළිබඳව ද එම විද්වතුන්හට විශේෂ ස්තූතියක් ද මෙහි දී ඒ මහතා පිරිනමනු ලැබී ය.

 

 

මෙම සැසියේ ආරාධිත විශේෂ දේශනය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ මහාචාර්ය Mike Loosemore මහතා විසින් පවත්වන ලදී.

 

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය 1992 වර්ෂයේ දී පිහිටුවා ඇත. එය ජාත්‍යන්තර ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මූලධර්ම අනුගමනය කරමින් මෙරට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබදව ම කටයුතු කරන විද්‍යාත්මක සංවිධානයකි. එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය ආසියානු ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයට (SLSMA) සහ ජාත්‍යන්තර ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයට අනුබද්ධ ව කටයුතු කරනු ලබයි.

 

ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවට යොමුවන අයගේ පෝෂණය, මානසික තත්ත්වය, අනතුරු වළක්වා ගැනීම, අනතුරකට ලක්වුව හොත් නැවත පුනරුත්තාපනය කිරීම, ක්‍රීඩා කෞෂල්‍යන් ඉහළ නැංවීම, මාංශපේශී චලනයන්ගෙන් සිදුවන ආබාධ හදුනාගෙන අනෙතුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයත් ලබා ගෙන ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම, ජනතාව ප්‍රමුඛ කරගනිමින් ව්‍යායාම සහ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බෝ නොවන රෝගවලින් ජනතාව මුදවාගැනීමට සහ වළක්වා ගැනීමට ව්‍යායාමවල සහ ක්‍රීඩාවේ වැදගත්කම පිළිබදව ප්‍රජාව දැනුවත් කරමින් ඔවුන් එයට නැඹුරු කිරීම යන කාර්යයන් ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය ඉටුකරනු ලබන කාර්යන්ගෙන් කිහිපයක් වේ.

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) වත්මන් සභාපති  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් මඩහපොල, ලේකම් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබද විශේෂඥ වෛද්‍ය රංගන හෙට්ටිගේ, උප සභාපති මෙන් ම 2025 අධ්‍යයන සැසිවාරයේ සභාපති ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු මානගේ, යන මහත්වරුන් මෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, භෞතචිකිත්සකයන්, ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය‘ ලෙසින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී සම්මානයකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරන ලද අතර, මෙය දකුණු ආසියාවේ ජනප්‍රියම ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

“දකුණු ආසියාවේ ගුවන් මගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් අප ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. මෙම සම්මානය, අපගේ මගීන්ට පෙරටත් වඩාත් උසස් සේවාවක් ලබාදීම සඳහා අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, චෙන්නායි හා බෙංගලූරු වැනි ප්‍රධාන නගර අතර මෙන්ම Tier-2 කාණ්ඩයේ උප ප්‍රධාන නගර අතර සතියකට ගුවන් ගමන් වාර 90 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ඉන්දියාවේ තිරුචිරපල්ලි වෙතද ශ්‍රීලංකන් ගුවන් සේවය සතියකට වාර 8 ක් පියාසර කරන අතර, එම නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කළ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය මදුරෙයි වෙත සතියකට ගුවන් ගමන් වාර 6 ක්ද, හයිද්‍රාබාද් සහ තිරුවනන්තපුරම් වෙත සතියකට ගුවන් ගමන් වාර 4 ක්ද ක්‍රියාත්මක කරයි. තවද කේරළයේ කොචි නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා දිනපතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක වේ. මේ නිසා ඉන්දියාවේ ප්‍රධාන නගර මෙන්ම උප ප්‍රධාන නගර වෙත පහසුවෙන් ගමන් කිරීමට සංචාරකයන්ට අවස්ථාව උදා කර දෙමින් ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නොයෙක් වර ඇගයීමට ලක් වී ඇත.

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රට වන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් පහෙන් එකක්ම ඉන්දියානු ජාතිකයන් ලෙස සැලකේ. මේ අතරින් විශේෂයෙන්ම චෙන්නායි, බෙංගලූරු, දිල්ලි සහ මුම්බායි වැනි නගරවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුතතම තේරීම බවට පත් වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි. මේ නිසා ඉන්දියාව ශ්‍රීලංකන් ගුවන් සේවයට වාණිජ හා සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් වෙළඳපොළක් බවට පත් වී ඇත.

දකුණු ආසියාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා Wide-body සහ Narrow-body යන කාණ්ඩ දෙකටම අයත් ගුවන් යානා භාවිතා වේ. මෙම ගුවන් යානාවල Business Class සහ Economy Class ආසන ඇතුළත්ය. මෙම ගුවන් යානාවල ගමන් කරන මගීන්ට, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්මානනීය ශ්‍රී ලාංකික ආහාරපාන එකතුව ඇතුළුව විවිධ සම්ප්‍රදායන්ට අයත් ප්‍රණීත ආහාරපාන රස විඳීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව ඉන්දියාව ඉලක්ක කරගෙන සැලසුම් කළ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ක්‍රියාවට නංවා ඇත. රාමායණයේ සඳහන් ස්ථාන ආවරණය වන පරිදි සැලසුම් කර ක්‍රියාවට නැංවූ අතිසාර්ථක Ramayana Trail වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. තවද ඉන්දියාව වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ විශේෂ දීමනා රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් හඳුන්වා දී තිබේ.

මීට අමතරව ව්‍යාපාරික රැස්වීම්, උත්සව හා ප්‍රදර්ශන ආදිය වෙනුවෙන් පැමිණෙන MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරකයන් සහ, ශ්‍රී ලංකාවේදී තම විවාහ මංගලෝත්සව පැවැත්වීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන් විශේෂ විසඳුම් හා සේවාවන් එකතුවක් හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද අධිකරණය හමුවට

බොරැල්ල කනත්ත වටරවුම අසල සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරින් තුවාල ලැබූ 6 දෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

බොරැල්ල කනත්ත වටරවුම අසලදී ඊයේ (28) පෙරවරු 7.45ට පමණ දොඹකර රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාරක අනතුරක් සිදුවුණා.

එම රථය යතුරුපැදි 6ක් යටකරමින් සහ මෝටර් රථ 3කද ගැටෙමින් වේගයෙන් ධාවනය විය.

අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 06 දෙනෙකු තුවාල ලැබූහ.

කොළඹ ජාතික රෝහල පැවසුවේ, ඒ අතරින් එක් අයෙකුගේ පාදය ඉවත් කිරීමටද සිදුවූ බවය.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ රියැදුරා වන 26 හැවිරිදි පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහු ඒ වනවිට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට තිබූ බවය.

ඊට අමතරව දොඹකර රථයේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පැය 48 දුම්රිය වර්ජනය ගැන දැනුම්දීමක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවය.

සිය ගැටලු සම්බන්යෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබා දී නොමැති බව දුම්රිය රියදුරන් පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ද ඊයේ (28) දිනයේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා සඳහන් කළේ.

ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළේය.

රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.

පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.

දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කළ අයෙක් වනජීවියට කොටු වෙයි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කහල්ල පල්ලේ කැලේ අභය භූමිය තුළ දී අද(28) පස්වරුවේ සිදුකරන ලද මුර සංචාරයකදී දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් කරවිලගල ප්‍රෙද්ශයේදී සැකකරු මෙම හඳුන් දිවියා ඝාතනය කර ඇති බවත් ඝාතනය කර තිබූ හඳුන් දිවියා මස් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ අවට පරීක්ෂා කර ඇති වනජීවී නිලධාරීන් ඒ ආසන්නයේ තිබී බඳින තුවක්කුවක් ද සොයා ගෙන තිබේ.
සැකකරු විසින් ඝාතනය කර ඇති හඳුන් දිවියා උස දෙකක් පමණ වන වයස අවුරුදු 06ක් පමණ වන හොඳින් වැඩුනු එකෙකු බව වන ජීවී නිලධාරිහු පවසති.
සැකකරු මස් කරමින් සිටි හඳුන් දිවියාගේ හිස හා පාද මෙන්ම සම ඇතුළු ශරීර කොටස් රැසක් ද හඳුන් දිවියා මස් කිරීමට සැකකරු භාවිතා කළ ලොකු හා කුඩා පිහියා දෙකක් ද, මස් කළ හඳුන් දිවියාගේ මස් තොගයක් ද මෙහිදී සැකකරු සමග අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු පලාගල කරවිලගල ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 60ක පමණ වන පුද්ගලයකු බව වනජීවී නිලධාරීහු පවසති.
බළල් කුළයේ දෙවන විශාලතම සත්වයා ලෙස හඳුනාගෙන ඇති හඳුන් දිවියා ඉංග්‍රීසි බසින් Fishing Cat ලෙස හඳුන්වනු ලබන අතර, සත්ව විද්‍යාත්මක නාමයෙන් Prionailurus Viverrinus ලෙස හඳුන්වන හඳුන් දිවියා වසර 12ක පමණ ආයු කාලයක් හිමි සත්වයකු බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
වනසත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත යටතේ හඳුන් දිවියා දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වයකු ලෙස නම් කර ඇති වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ඝනයේ සත්වයකු වන බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙයි.
හඳුන්දිවි දඩයම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරු හෙට(29) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

කුෂාන් ජයවර්ධන – කැකිරාව

හැටන් සිට වික්ටර්න් වත්තට යන පාර පාලමක් ගිලා බැහැලා අවුරුද්දයි අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවමත් විසඳුම් නෑ මහජනතාවගෙන් මැසිවිලි .

හැටන් නගරයේ සිට වික්ට‍ර්න් වත්ත දක්වා ගමන් කරන මාර්ගය පාලමක් ගිලා බැහැලා මාස දහයක් ගතවූ නමුත් එය පිළිසකර කර දීමට අඹගමුව ප්‍රාදේශීය සභාව තව වනතුරුත් කටයුතු නොකිරීම තුළින් කොටස් තුනකින් යුතු වික්ටර්න් වත්ත ප්‍රදේශයේ පවුල්  පවුල් 600ක අයත් පාසල් දරුවන් වැඩිහිටියන් සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගති .

දැනට මාස දහයකට ප්‍රථම ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් නගරයේ සිට වික්ටර්න් වත්ත දක්වා වූ කිලෝමීටර පහළොවක පමණ දුරකින් යුතු  මාර්ගයේ 12 වන සැතපුම පසු කරන ස්ථානයේ පාලම මෙලෙස ගිලා බෑමක් සිදු වී ඇත ,

ප්‍රදේශවාසීන්ගේ ගමනාගමන අවශ්‍යතාවයන් සඳහා ප්‍රදේශවාසීන් විසින්ම දැව කොටන් පස් බෑග් යොදා මෙම පාලම පිළිසකර කර තාවකාලික අන්දමින් භාවිතා කරනු ලැබුවද නැවතත් පසුගිය සති කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවෙන් එම මාර්ගය  යතුරුපැදියක් හැරෙන්නට වෙන වාහනයක් ගමන් කිරීමට නොහැකි අන්දමින් කිලා බැස ඇති තත්වයක් දක්නට ලැබෙ ,

මෙම තත්ත්වය හේතුවෙන් පොදු සේවා බස් රථයෙන් බැස කිලෝමීටර් දෙකකට අධික පයින් ගමන් කිරීමට ප්‍රදේශවාසීන්ට සිදුවී ඇති අත‍ර මෙම තත්වය හේතුවෙන් ගැබිණි මව්වරුන් පාසල් දුවා දරුවන් සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්‍රදේශවාසීන් පැවසීය ,

වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් මෙසේද කිය ,

එම මාර්ගය භාවිතා කරන වික්ටර්න් දෙමළ විද්‍යාලය සහ ගනේෂා දෙමළ විද්‍යාලයේ දුවා දරුවන් සහ ගුරුවරුන්ද දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නේ මේ මාස දහයක කාලය පුරා ,

බස් එකෙන් බැහැලා අපිට කිලෝ මීටර් දෙකකට වැඩිය පයින් යන්න වෙලා තියෙන්නේ ,

එහෙම පයින් යන්න බැරි නිසා ත්‍රීරෝද රථයක් කුලියට ගත්තත් සාමාන්‍ය ගානට වඩා වැඩි ගාණක් තමයි අය කරන්නේ මේ අපහසුතාවය දන්න නිසා ,

ඒ අයත් කරන්නේ බොරදියේ මාළු බානවා වගේ වැඩක් ,

මේ මාර්ගය පාලනය වන්නේ අඹගමුව ප්‍රාදේශීය සභාව අරහා නමුත් මෙම ගැටළුවට මාස දහයක් ගත වෙලත් තව වනතුරුත් විසඳුම් ලබා දෙන්න කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ ,

අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය පිළිබඳව හා මෙම මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන හැකි විගසින් මෙම මාර්ගයේ යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය