pre

 ලබන වසර මැතිවරණ වසරක් බැවින් එයට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අමතමින් ඊයේ (24)දැනුම් දී ඇත. එමෙන්ම පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත් ඇතැම්විට මහමැතිවරණයක් වුවද ලබන වසරේ පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධායක වැඩපිළිවෙළ පිළිබඳව ආසන සංවිධායකවරුන් සමග මෙම රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. ආසන සංවිධායක පුරප්පාඩු පවතින ආසනවලට සහ සංවිධායකයින් ජනවාරි මස මුලදී පත්කරන බවත්  බණ්ඩාරනායක දිනය යෙදෙන ලබන මස 8වැනිදා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කරන බවත් සංවර්ධන කටයුතු රැසක් එදින ජනතා අයිතියට පැවරීමට කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

                         පෙර පැවති මැතිවරණ ප්‍රථිපල වලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුවිශාල පසුබෑමකට ලක් වී සිටි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ගැනීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම බරපතල අන්දමට දෙදරා ගියේය. ඒනිසා  පක්ෂය යලින් ගොඩ නැගීමට නව ප්‍රතිසංවිධාන වැඩපිළිවලක අවශ්‍යතාව පවතී. ග්‍රාමීය මට්ටමේ සිට එකී වැඩපිළිවල ක්‍රියාත්මක කළ යුතුය. “මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමයි” යනුවෙන් බණ්ඩාරනායක මහතා පොදු ජනතාවගේ අභිවෘද්ධිය තකා ගොඩනැගු ශ්‍රී.ල.නි පක්ෂය වර්තමානය වනවිට විවිධ පුද්ගලයන්ගේ අභිමත අනුව හැඩ ගැසී බණ්ඩාරනායක මහතාගේ දර්ශනයෙන් වියුක්ත වී ඇත. එසේහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි ගොඩනැගීමේ වගකීමෙන් මිදිය නොහැකිය.