කෝටි 33ක රාජ්‍ය මුදල් ගැහිල්ලක් හෙලිවෙයි

images (3)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි සදහන් වේ.
නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ඒවා බෙදා හරින්නේ නැතිව නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ ගොඩ ගසා තිබෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව එහි  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුදත් අබේවර්ධන මහතා පවසන්නේ එවකට රුපියල් කෝටි 33ක් වැයකොට නිවාස 5900කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති බවට තොරතුරු හෙළිවුවද එම මුදල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස අරමුදලට බැර කළා නම් තවත් නිවාස 677ක් ඉදි කළ හැකි බවයි. එදා ගම්මාන සෑදීමේදී අත්කම් නිවාස ගම්මානයක ගෙවල් 100ක් 150ක් වැනි ප්‍රමාණයක ගම්මාන ඉදි කල නමුත් පසුගිය වසර හතරක කාලය තුළ ගම්මාන කියා ඉදි කළේ එක් ගම්මානයක උපරිමය ගෙවල් 25 කුත් අවමය ගෙවල් 07 කුත්  බවද ඔහු පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
එවැනි ගම්මාන එක්ක බැලුවොත් මේ ගෙවල් 677න් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ගම්මාන 27ක් ඉදිකරන්න තිබුණා. නමුත් අද සිදුවෙලා තිබෙන්නේ නිවාස ඉදිකිරීම නොව තම සිහිනය ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ ක්‍රමයක්. නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයක් තිබියදී පිටස්තර මුද්‍රණාලවලින් පොස්ටර් මුද්‍රණය කිරීම. ආයතනයේ නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙලා තිබෙනවාද. මේ මුද්‍රණාල හිමිකරුවන් කවුද, මුදල් ගිහින් තිබෙන්නේ කොහොටද කියා නිවැරැදි විගණනයක් කළොත් ආයතනයේ එක් පුද්ගලයෙක් ඇතුළු කොටසකට මේ මුදල් බැරවෙලා තිබෙනවා.
මේ පිළිබඳ ඒ අවස්ථාවේ හඬක් නඟන්නට බැරිවූවේ එවකට වේවැලක් අතින් ගත් අයෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාලනය කළ නිසායි. එවකට මේ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙස සේවයට බැදුණු අයකු පියවරෙන් පියවර ඉදිරියට ගොස් සාමාන්‍යාධිකාරි තනතුරට පත්වී විශ්‍රාම ගොස් යළි මේ ආයතනයේ සභාපති ලෙස පත්වූයේය. එසේ පැමිණ තම අනසක පැතිරීම, මාධ්‍ය හැසිරීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ සිට මේ සම්බන්ධයෙන් හඩ නැඟූ වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියලු දෙනාගේම වැඩ තහනම් කිරීම්, ස්ථාන මාරු කිරීම් හා ඔවුන්ට විරුද්ධව අභූත චෝදනා එල්ල කරමින් මර්දනකාරී ලෙස මේ ආයතනය කරගෙන ගියේය. එයට බියට පත්වූ සේවකයන් ඉදිරිපත්වූයේ නැහැ. ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා සේවකයන්ට, දිස්ත්‍රික් කාර්යාලවලට නියෝග ලබාදීලා තිබෙනවා.
මේ මාසේ මේ ඉලක්කයට අය කිරීම් ඉටුනොකළොත් මාසේ පඩිය ගෙවීමට නොහැකි වන බවට තර්ජනය කර තිබෙනවා. ආයතනයේ සේවකයන්ගේ ආබාධ ණය අවශ්‍යතා ඉටුකර නැහැ. සේවකයන්ගේ නිවාස ණය ලබාදී නැහැ. අතිකාල හා ගමන් වියදම් පවා කපා හැරලා. සේවක සුබ සාධනය ඉටු කර නැහැ. රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඉටුවී නැහැ. කිහිප දෙනකුගේ සාක්කු පුරවා ගැනීම සඳහා සහ එක පුද්ගලයකුගේ සිහිනයක් ඉටු කර ගැනීම සඳහා පසුගිය වසර හතර හමාර තුළ විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ද ඒ මහතා මෙහිදී පැවැසුවේය.
By Ashanthi Warunasuriya