ශ්‍රී ලංකා රජය නව ජිනීවා යෝජනාවකට එකග වී ඇති බවට කරන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැහැ

harsha_de_b

ශ්‍රී ලංකා රජය නව ජිනීවා යෝජනාවකට එකග වී ඇති බවට කරන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය. එසේම දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් ඇතිකිරීම පිළිබදවද කිසිදු සදහනක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

අද (මාර් 8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඇතැම් පාර්ෂවයන් රටේ නොසන්සුන්තාවයක් ඇති කිරීමේ උවමනාවෙන් 2015 දී ඉදිරිපත් කළ ජිනීවා යෝජනා හා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් අල් හුසේන් කුමරු ඉදිරිපත් කළ වාර්තාව පටලවාගෙන කතා කරන බවටද හෙතෙම චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාට ඕනෑම වාර්තාවක් ඉදිරිපත්කළ හැකි නමුත් ඉන් ස්වෛරී රාජ්‍යන්ට බලපෑමක් කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම වැදගත් වන්නේ යෝජනා යැයිද වාර්තාව කිසිසේත්ම යෝජනා වලට බලනොපාන්නේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කොට සියලු පාර්ෂව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සුදුසු වේලාවක ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පැවසීය. දැනටමත් මේ සමබන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.