ආදරණීය විකී,දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල..

Umayangana 1

සටහන: නිනී සෙනෙවිරත්න

ඇය පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබට මට සමීපය. නමුත් ඕනෑම චරිතයක සාධාරණීකරණය රංගනයක අයිතියද ඇයට ඇත්තේය. මේ ඇගේ කතාවය.

“උසස්පෙළ ට මම කළේ ජීව විද්‍යාව. මට ඕන වුනේ ඒ අංශයේ රැකියාවක් කරන්න . ඖෂධවේදිනියක් වෙන්න මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණා.

මම ඒ සඳහා අයදුම්පත් යොමු කරන අතර වාරේම තමයි NIDT ආයතනයේ ජනමාධ්‍ය හා ආයතනයේ ජනමාධ්‍ය හා රූපවාහිනීකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට පටන් ගත්තේ.

මම අදත් ආදරණීය ව සිහිපත් කරනවා NIDT ආයතනයේ ලාල් හේමන්ත මාවලගේ මහත්තයා . කලාවට මගේ තිබුණ හපන්කම් ඔප මට්ටම් කරන්නෙ ඔහු. ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙරණ රූපවාහිනී ආයතනයේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවන් අතරට මමත් එකතු වෙන්නෙ. අවුරුද්දක් දෙරණෙත් ඊටපසු අවුරුදු නවයක් ශ්‍රී ටී වී එකෙත් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

මාව පුංචි තිරයට අරන් ආවේ සුදත් රෝහණ මහත්තයා . ඔහු අධ්‍යක්ෂණය කළ කටු ඉඹුල නාට්‍යයේ පාලිත සිල්වා, චම්පා ශ්‍රියාණි, ඩී ආර් පෙරේරා වැනි ප්‍රවීණ රංගධරයන් එක්ක ආගන්තුක මම කොයින් මැණිකේ ගේ චරිතයට පණ දෙනවා. ඒ තමයි ආරම්භය.

ඒත් මගේ අතීතේ මගේ කලාවට උපත දෙන්නෙ මගෙ අම්මා අනුලා කාන්ති කුමාරි ඇය ගුවන්විදුලි නිවේදිකාවක් වගේම ටවර් හෝල් රංගන ශිල්පිනියක් . ඇගේ ආභාසය තුළ නෙයිනගේ සුදූව නාට්‍යයේ ගායක කණ්ඩායමේ සමාජිකත්වය මට හිමි වෙනවා. ඔව් අම්මා තමයි මගේ හැම තැනකම ශක්තිය . එයා අපිව දාලා ගිහින් දැන් අවුරුදු තුනක් වෙලා.

ඒත් අම්මා කියන හයිය ජිවිතේ හැමදාම මට ඉතිරි කරන්න තරම් මගේ අම්මා කාරුණික වෙලා.

ජිවිතේ මාව වෙනස් කරපු මාව මිනිස්සු අදුර ගත්තු චරිතය වෙන්නෙ රවීන්ද්‍ර විජේරත්නන්යන්ගේ ජිවිතේ ලස්සනයි හි ධනංජනා. විදෙස් මෙගා නාට්‍ය වලට අභියෝගයක් වෙන්නට නිර්මාණය වුන ජිවිතේ ලස්සනයි නාට්‍යය මාව ප්‍රේක්ෂකයා වෙත අඳුන්වා දුන්න නාට්‍යය වුනා.

ඒ වගේම මාව මිනිස්සු මතක තියා ගත්තෙ දේදුනු විදිහට. ඒ අතිශය ජනප්‍රිය චිත්‍ර කතාවක් වුන ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යය හරහා. අදටත් මට දේදුණු කියල කතා කරන අය ඕන තරම්. මම ත් අාසයි ‍මට දේදුණු කියනවට.

“දැන් කියන්න හිතුවේ වේදිකාව ගැන. රජා මං වහල චාමික හත්ලහවත්තගේ නිර්මාණයක් . මම එහි චරිතයකට පණ දෙනවා. ගිය වසරේ විශිෂ්ටතම නාට්‍ය විදිහට හොඳම නිළිය සම්මානය මට ලැබිල තවත් සම්මාන දහයක් නාට්‍යය ට හිමි වුන මේ වේදිකා නිර්මාණය එක්ක අපි දිල්ලි ජාත්‍යන්තර නාට්‍ය මහෝත්සවයට අපි ගියා.

ලෝකයෙන්ම තෝරා ගත් නාට්‍ය තිහක් අතරට අපි ආව කියන්නෙ දරා ගන්න බැරි සතුටක්. මේ නාට්‍යයට අමතරව චාලක රණසූරියගේ මාරක ළිදේ සවාරියක් වේදිකා නාට්‍යය සම්බන්ධ වෙලා ඉන්නවා .
පුංචි තිරයේ නිසළ සඳ ඔබ නාට්‍යයේ මේ දවස් වල අපිට අපි මුණ ගැහෙයි. ටිකක් අඳුරගන්න අමාරු වෙයි. ඒත් නෙල්නා ඩී සේරම් කියන්නෙ කව්ද කියල බලන්නකෝ. ඒ වගේම චිත්‍රපට ගැන කීවේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙයි.

ආදරණීය විකී, ටවුමේ ඉස්කෝලේ වැනි චිත්‍රපට එක්ක ආපු මම විශ්ම කියල නවතම චිත්‍රපටයකටත් දායක වුනා…….”
“දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල . හැබැයි ඒ ගැටළුව දැන් විසදිලත් ඉවර ඇති. ඔව් හිතුවා හරි. මම උමයංගනා වික්‍රමසිංහ . ඔබෙන් ලැබෙන ආදරය එක්ක මේ වෘත්තීය මට දැනෙන්නෙ වාසනාවන්ත වෘත්තියක් විදිහට. ජිවිතේ ආපහු හිතල බැලුවම නැතිවුන දේවල් වලට වඩා මට ලැබුණ දේවල් වැඩියි. ඔව් මං සතුටින්. ඔබේ ආදරයට ස්තුති . නවතින්න කළින් දයා වයමන් මහත්මා ව දයාබරව මතක් කරනවා. දවසක ඉක්මනින් ආයේමත් අපි හමුවෙමු.”