නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගැනීමට වත්මන් රජය යටතේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මෙහිදී නීතිය මෙන්ම විනය මනාව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තදින් අවධාරණය කළ යුතු යැයිද නීතියක් නොමැති තැනක විනයක් පවත්වාගෙන යා නොහැකී මෙන්ම විනයක් නැති රටක සංවර්ධනයක් අත්කර ගත නොහැකී යැයිද හෙතෙම කීය.
අද ( පෙබ 22දා) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මෙහෙයවන රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ ආරම්භක සැසියට ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.
එසේම රජය වියදම් කරනුයේ ජනතාවගේ මුදල් බැවින් රජයේ නිලධාරීන් සෑම දෙනාටම මුදල් වියදම් කිරීමේදී වඩාත් විදිමත්ව , විනිවිදභාවයකින් යුක්තව සහ නාස්තිය දූෂණය අවම වන ආකාරයෙන් වියදම් කිරීමට අතිවිශාල වගකීමක් මෙන්ම වගවීමක් ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.