කොතලාවල වෛද්ය පීඨයට සායනික පුහුණුව සදහා රෝහලක්වත් නෑ: රාජිත සේනාරත්න

rajitha-senaratne_2

සයිටම් ආයතනයේ ප්‍රමිතීන් පිළිබද ප්‍රශ්න කරන වෛද්‍ය සභාව සායනික පුහුණුව සදහා රෝහලක් හෝ නොමැති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට විනාඩි 45ක් තුළ අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය අනුව එසේ කල බවත් ඒ සදහා වෛද්‍ය අඥා පනත පවා සංශෝධනය කල බවත් ඒ මහතා සදහන් කළේය.

මාලඹේ සයිටම් විද්‍යාලයට සායනික පුහුණුව සදහා රෝගින් අඩු වුවත් ඉතා ඉහළ පහසුකම් සහිත රෝහලක් තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම අද වෛද්‍ය සභාව වෘත්තිය සමිති වල කාර්යයද සියතට ගෙන කටයුතු කරන බවට හෙතෙම චෝදනා කළේය.

එසේම වත්මන් ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ නැති ස්ථාවරයේ සැමදා සිටි බවද හෙතෙම පැහැදිලි කළේය.

ඇතැමුන් 2020 දී බලයට ඒමටත්, ඇතැමුන් තම රතු ධජය තවත් රතු කරගැනීමටත්  සයිටම් ප්‍රශ්නය භාවිත කරන බව පවසමින්  පසුගිය දිනක විමල් වීරවංශ මහතා හොද කතාවක් කළ බවත් අමාත්‍යවරයා කීය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භක අවධියේ එය රැසියානු විශ්ව විද්‍යාලක් හා අනුබද්ධ කිරීමට යාමේදී එහි ඉගනගන්නේද දේශීය සිසුන් බැවින් එය අනුබද්ධ නොකර දේශීය උපාධි ප්‍රධාන ආයතනයක් ලෙස පවත්වාගන්නා ලෙසට නිර්දේශ කළේද වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද (පෙබ 15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.