2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්‌වෙන්නේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6773b60b1702b

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පත්වී මාස තුනක් ගතවන විට රට ස්ථාවර කිරීමට සමත් වුණා – නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වී මාස තුනක් ගතවන විට රට ස්ථාවර කිරීමට සමත්ව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වීමෙන් පසු ඇතැමුන් සිතා සිටියේ ආර්ථිකය කඩා වැටී, රට තිබුණු තැනටත් වඩා අර්බුදයකට ලක්වනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තරය ද මේ වන විට ශ්‍රී ලංකාව ස්ථාවර ගමනක් යමින් ඇති බවට පිළිගෙන ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රීලනිපය තනි පක්ෂයක් ලෙස ‘අත’ ලකුණින් ඉදිරියේදී තරග කරනවා – දුමින්ද දිසානායක

මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙසින් ‘අත’ සලකුණින් මැතිවරණවලට තරග කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක පවසනවා.

ජනතාව බලාපොරොත්තු වන්නේ පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවා.

මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නැහැ – කැබිනට් ප්‍රකාශක

මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව ඔවුන්ට නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සතියකට වතාවක් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බවද, එහිදී කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යංශ මට්ටමින් ඇති ගැටලු සඳහා අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු දීමේ හැකියාව පවතින අතර, එය ඔවුන්ගේ වගකීමක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම 2025 සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවූ නාම යෝජනා අහෝසි කිරීම සඳහා වන පනතක් සකස් කර ඇති බවත් එය ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව නැවත අලුතින් නාම යෝජනා කැඳවා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී. චානක පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඔහුව එම තනතුර සඳහා තෝරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

අමාත්‍ය, ආචාර්ය උපාලි පන්නිලගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනුකර ඇති පෙත්සමේ එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණ විශ්ව විද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරන අවස්ථාවේදී ඔහු රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත්, එය පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ.

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනයට කැබිනට් අනුමැතිය

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ වෙළෙඳපොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදාහැරීම, ආපදා කළමනාකරණය සහ සමාජ සුබසාධනය වැනි රජයට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් ක්‍රියාත්මක කිරීම් සඳහා ආරක්ෂක අංශ සහ පොලීසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යයල 25 ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339 ක්, රජයට අයත් ව්‍යාපාර 340 ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් යම් වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6764065f562af

ශ්‍රීලනිප සභාපති ධූරයට නැවත ඉදිරිපත් වෙන්නේ නෑ – මෛත්‍රී

මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (16) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඔහු විරුද්ධත්වයක් නොදක්වන බවයි සිය නීතිඥවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා සමථයකට පත් කෙරුණා.

නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවේවි – පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්

ස්ථාවර නියෝග 6/1 අනුව, කථානායකවරයාග‍ේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමෙන් පසු, නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසනවා.

ඒ අනුව, කථානායක ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට, එම පුරප්පාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන පළමු රැස්වීමේදීම නව කථානායකවරයෙකු තෝරා පත් කර ගත යුතු බවයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා (දෙසැ. 17) සහ බදාදා (දෙසැ. 18) දිනවලදී රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර නිවේදනය කර සිටි අතර, ඒ අනුව එම අවස්ථාවේදී නව කථානායකවරයෙකු පත් කරගනු ඇති බවයි සඳහන් වන්නේ.