පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තොරතුරු දැනගැනීමේ පනතට යටත් බව අභියාචනාධිකරණය තීන්දු කරයි

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටින බවත් අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත්කරන ලද පිරිසක් බවත් එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.

අද පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අද (01) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වන්නේ.

විරෝධතාවයේදී පුද්ගලයෙක් මියයාම ඝාතනයක් – අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ පුද්ගයෙකු මියයාම ඝාතනයක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එම විරෝධතාව ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය කළේ ආණ්ඩුව විසින් බවත්, එම නිසා මෙය ආණ්ඩුව විසින් සිදුකරන ලද මිනිස් ඝාතනයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

විපක්ෂ නායක ඇතුළු නියෝජිතයින් පිරිසක් කතානායක හමුවෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (28) පෙරවරුවේ කතානායකවරයා හමුවී තිබෙනවා.

එහිදී 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට යෝජනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කතානායකවරයා ද ඊට සිය එකඟතාවය පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්, කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් එම සාකච්ඡාවට සහභාගී වූ මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කර තිබෙනවා

මැතිවරණය සම්බන්ධයෙන් ස.ජ.බ. ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වනදා කැඳවීමට නියෝග

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද (27) කැඳවා තිබෙනවා.

ජනාධිපති මේ වෙලාවේ පිඳුරු ගහෙත් එල්ලෙන්න බලනවා – මංජුල ගජනායක

ජනාධිපතිවරයා විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය මේ වන විට නතර කොට ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

අඛණ්ඩව පැමිණි බාධා සමූහයක් මධ්‍යයේ මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ මෙලෙස කල් දැමීම එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් ජනාධිපතිවරයා විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය මේ වන විට නතර කොට ඇති බැවින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ පිදුරු ගසක හෝ එල්ලීමට සුදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි

ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කිසිඳු නායකයෙකු හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙනවා.

ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවත්, එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත්, ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට නිහඬව පසෙකට වී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

7c60402d00403cea558c7c37a0b42cad

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටිනවා – ජනපති

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේම අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බවත් රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපතිගේ වියරු ස්වභාවය පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතුයි – අනුර

ජනාධිපතිවරයා විසින් ඡන්දය කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහය පරාජය කිරීම, රටේ සියලුම දෙනාගේ වගකීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගය මේ සඳහා දිස්ත්‍රික් ගණනාවක විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවත්, හෙට (26) දිනයේ කොළඹ දී ජනාධිපතිවරයාගේ වියරු ස්වභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමේ උත්සාහය පරාජයට පත් කිරීම සඳහා දැවැන්ත ජනතා විරෝධතා රැළියක් පැවැත්වීමට සුදානම් බවද ඔහු පවසනවා.

එමෙන්ම මේ පිළිබඳව විවිධ ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීමට කටයුතු කළ බවද, ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යාමට සුදානමින් සිටින බවද ඔහු අවධාරණය කරනවා.

මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්න අපිටත් යෝජනාවක් ආවා – චන්න ජයසුමන

අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමේ යම් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා යෝජනාවක් සිය සන්ධානයටත් ගෙන ආ බවත් නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

ඔහු පවසා සිටියේ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කිරීමෙන් පලක් නොවන බවත්, ආණ්ඩුව ගෙදර යා යුතු බවයි. අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමෙන් රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

අග්‍රාමාත්‍ය ධූරය මාරු කිරීමේ උත්සාහයට සිය සන්ධානයේ කිසිවෙකුත් සහාය නොදෙන බව පවසා සිටි මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් විවේකි සූවයෙන් සිටිය යුතු බවයි.