වෘත්තීය සමිති 40ක නියෝජිතයින් අද ජනපති හමුවෙයි

වරාය, විදුලිය, වෛද්‍ය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තා වනවා.

රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මාර්තු 09 මැතිවරණය නැහැ, පැවැත්වෙන දිනය මාර්තු 03 ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇතුළු ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද, ඡන්ද විමසීමට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.
edece3ec9d96f5c624e8954f94b34ba3

ජනාධිපති පිස්සු කතා කියමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් ගෙන යන්න උත්සාහ කරනවා – සජිත්

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇද බාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විදුලි බිල සියයට 250කින් වැඩිකර, බදු බර, ගෑස් මිල, තෙල් මිල වැඩි කර මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් පිස්සු කතා කරන බවත්, ජනාධිපතිවරයා රටේ ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරමින් ඡන්ද අයිතිය සහ මේ රටේ ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සියල්ලන්ගේම මහ මොළකරු කවුද කියලා ඊයේ දිනයේ දී ඔප්පු වුණා – ඩලස් අලහප්පෙරුම

ජනාධිපතිවරයා විසින් හරසුන්, අත්තනෝමතික ප්‍රකාශ කිරීම තුළ සමස්ත රාජ්‍යයම හෑල්ලුවට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොළඹ තේරීම් භාර නිලධාරියා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නොදන්නා බව පැවසීමටත්, එය නීත්‍යානුකූල නොවන බව පැවසීමටත් පෙබරවාරි මාසය දක්වා නිශ්ශබ්දව සිටීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ (23) දිනයෙන් පසුව වෙනත් කිසිවෙකුටත්, කිසිම ආයතනයකටවත්, රාජ්‍ය නිලධාරියෙකුටත් ඇඟිල්ල දික් කිරීමේ තේරුමක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සමස්ත වැඩපිළිවෙළේ මහ මොළකරු කවුද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින්ම රටට අනාවරණය කළ බවයි.

එමෙන්ම ඊයේ දිනයේ දී විධායක ජනාධිපති ධූරය කෙතරම් ඒකාධිපතිවාදී ස්වරූපයක් ගන්නවාද යන ප්‍රකාශය උස් හඬින් නැවත වතාවක් පාර්ලිමේන්තුවේදී තහවුරු වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

JR ගේ බෑනා කරන්නෙත් එදා 82 දී මාමා කරපු දේම තමයි – සුනිල් හඳුන්නෙත්ති

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දැන් කරමින් සිටින්නේ 1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා එවකට ජනාධිපති ‍ජේ.ආර්. ජයවර්ධන විසින් කළ දේම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට කටයුතු කළ බවට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් පසුකළකදී පවසා සිටි බවයි සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ.

දැන් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ බෑනා විසින් ද එය කරමින් සිටින බවත් වෙනසකට ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඡන්දය කල් දාන්න යැයි පැවසූ පිරිස පාවා දීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මැතිවරණයක් නැත්නම් එජාපය නාම යෝජනා දුන්නේ ඇයි? – පුබුදු ජයගොඩ

මැතිවරණයක් නීත්‍යානුකූලව කැඳවා නොමැති නම් එක්සත් ජාතික පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇත්තේ ඇයිදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසා සිටියා.

මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කළ පරිදි මෙම ආර්ථික අර්බුදය විසඳීමට වසර 10ක් පමණ ගත වනු ඇති බවට පෙන්වා දුන් ඔහු කියා සිටියේ, මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය නොපවත්වන්නේ නම් තවත් වසර 10ක් යනතුරු ඡන්දයක් පැවැත්වීමට නොහැකි වන බවයි.

මුදල් නොමැති බව පවසමින් ඡන්දය කල් දැමීම යුක්ති සහගත නොවන බවත්, එම තර්කය අනුව ඕනෑම මැතිවරණයක් කල් දැමීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම මැයි 11 දක්වා කල් තැබේ

හිටපු යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මැතිවරණය ඉල්ලා ජනපති ඉදිරියේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවක

ජනාධිපතිවරයා අද (23) පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වුණා.

ඒ අනුව ඔවුන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සභා ගර්භය මැදට පැමිණ මෙම විරෝධතාවයේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

ඡන්දෙ කල් දාලා නෑ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති

මැතිවරණ කොමිසම විසින් තවම නීත්‍යානුකූලව මැතිවරණයක් කැඳවා නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැතිවරණයක් පැවැත්වීම රටේ ආර්ථිකයට නුසුදුසු බවද, ඊට මුදල් නොමැති බවද අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දිනය ගැන තීරණය ගෙන ඇත්තේ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් පමණක් බව සහ අනෙක් සාමාජිකයන්ගෙන් පසුව ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බව Sunday Times පුවත්පතේ වාර්තාවක දැක්වෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නීත්‍යානුකූල ලෙස තීරණයක් ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා – අධ්‍යාපන ඇමති

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ සඳහා 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවයි අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවත් අසීරුතා මධ්‍යයේ වුවත් අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.