මැතිවරණ කොමිසමට තවදුරටත් කිසිඳු පාර්ශවයක අනුමැතියක් අවශ්‍ය නැහැ – ජී.එල්. පීරිස්

මැතිවරණ කොමිසම විසින් හෙට (07) දිනයේ පාළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව හෙට දිනයේ සිට එම දිනය ප්‍රකාශයට පත් කිරීම කල් දැමීමට කිසිඳු හේතුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ හෝ වෙනත් කිසිඳු පාර්ශවකයක අනුමැතියක් මැතිවරණ කොමිසමට තවදුරටත් අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මාර්තු 19 මැතිවරණය පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලු පක්ෂ කොමිසමට ලිඛිතව දැනුම්දෙයි

පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලුම පක්ෂ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හමුවීම අවශ්‍ය බව අදළ ලිපිය මඟින් ඔවුන් දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හෙට (07) දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ අදාළ හමුව පැවැත්වීමට නියමිතයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසම හමුවට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජිත් මද්දුමබණ්ඩාර, ඇතුළු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවයි ඔවුන් වැඩිදුරටත් සිය ලිපිය මඟින් දැනුම්දී ඇත්තේ.

මැතිවරණය ගැන අධිකරණ නියෝගය අනුව කටයුතු කරනවා – රංජිත් සියඹලාපිටිය

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (03) දිනයේ ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ තීන්දුවට ගරු කළ යුතු බවත් එම තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක් බවයි.

ඒ අනුව අධිකරණ තීන්දුව අනුව ඉදිරියේ දී වියදම් පෙළගැස්වීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අතගගා ඉන්නේ නැතිව වහාම මැතිවරණ දිනය නියම කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුළු ලෝකයටම අපේ රටේ නීතිය උත්තරීතර බව පෙන්වා දී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

දැන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මුදල් ලබා නොදීමට නොහැකි බවත්, අතගාමින් නොසිට මැතිවරණය පැවැත්වීමට දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් සාකච්ඡා නොපවත්වා මැතිවරණය කොමිෂමේ අභිමතය පරිදි, ස්වාධීනත්වය භාවිතා කොට හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන ලෙසත්, ආණ්ඩුවේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට කල් ලබා නොදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උපයෝගී කරගෙන මැතිවරණය පැවැත්වීම සඳහා ඉක්මණ් දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් ගැනීමට සැරසෙයි

බදුල්ල සහ මොණරාගල නගර කේන්ද්‍ර කර ගනිමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් ගැනීම ආරම්භ කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි නීතිඥ ඩී.එම් දිසානායක පවසනවා.

ලබන 07 වනදා සිට එම පෙත්සම අත්සන් ගැනීම ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන 2023 වසරේ අයවැය තුළින් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි – ජනපති

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ් අනුව වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවයි ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී තීරණයකට පැමිණීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළ දිසා අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.