සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකු නිදහස් කරයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබූ අතර එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා ඔවුන් නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කම්කරු අයිතිවාසිකම් ගැන වෘත්තීය සංගම් නියෝජිතයින් හා විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

ප්‍රධාන වෘත්තිය සමිති සංගම් නියෝජනය කරමින් එහි නායකයින් සහ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව කම්කරු අයිතිවාසිකම් සහ අණ පනත් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

තවදුරටත් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවත් මේ වැඩපිළිවෙළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතු යැයි වෘත්තිය සමිති නායකයින් එහිදී පැවසූ බවද සඳහන්.

සමාජ කතිකාවකින් ඔබ්බට සමාජ සම්මුතියක් දක්වා එය රැගෙන යා යුතු බවයි මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ස.ජ.බ තනතුරු දෙකකට නව සාමාජිකයින් පත් කෙරේ

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර ඇති බව එම පක්ෂය පවසනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමගි ජන බලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහින්ද ඇතුළු පිරිසකට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් දිවුරුම් දී ඇති අතර නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන් දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද (17) පත් කිරීමට නියමිතව තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයට කේ.ඒ. රෝහණධීර පත් කෙරේ

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති තිබෙනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නව ඒකකයක්

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

විමල්ට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා ගොනුකරන ලද්දක් බවයි.

2009 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකියි – රංජිත් මද්දුමබණ්ඩාර

පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් සමගි ජන බලවේගයෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ, බිම් මට්ටමේ සිටින පාක්ෂියන් ඇත්තේ සමගි ජන බලවේගය සමඟ බවයි.