මහින්දව අගමැති කරන්න පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලීමක් කර නැහැ – සාගර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් කිසිඳු ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමේ සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යතාවයක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිවරයා නැවත තනතුරකට පත්කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ ආශිර්වාදයෙන් සිදුකරන බවත්, හොර රහසේ සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තනතුරු තාන්න මාන්න එපා, රටට හොඳ දෙයක් වෙනව නම් අපේ සහයෝගය දෙනවා – සජිත්

විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බවයි.

පාඨලීට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

2016 වසරේ පෙබරවාරි 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොණුකළ නඩුවකට ඇප නියම කළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය නියම කර තිබුණා.

අද (12) පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට සිය දියණිය දැක බලාගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කර මගින් ණය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාර බැඳුම්කර මගින් දේශීය වශයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ යෝජනාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය සඳහන් කරන්නේ මේ සඳහා අනුමැතිය ලබාදීම නීත්‍යානුකූලව සිදුව ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සම සලකාබැලීම කල් යයි

පළාත් පාලන මැතිවරණයට එරෙහිව විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අද (11) ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම්දී තිබුණේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විවාදය අද ආරම්භ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වනවා.

ඒ අනුව විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවක් අනුව මෙම විවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අදාළ විවාදය අද (10) සහ හෙට (11) පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ටෙලිකොම් කොටස් විකිණීම සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබෙන්නේ

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පක්ෂය සඳහා සේවයක් කළ, දූෂණ චෝදනා නැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරාවි – නවීන් දිසානායක

පක්ෂය සඳහා විශාල සේවයක් කළ, දූෂණ චෝදනා නොමැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එම පත් කිරීම් සිදුකරනු ඇති බවයි.

එසේම ජනාධිපතිවරයා විසින් දේශපාලනයක් සිදු නොකරන බවත්, ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුකාර ධූරවල වෙනසක් සිදුවිය හැකි බවට පසුගිය දිනවල දේශපාලඥයින් විසින් විවිධ ප්‍රකාශ සිදුකර තිබුණා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර අද විශේෂ සාකච්ඡාවක්

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කෙරේ

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

19579f18276e595336dff7a55967eb51