මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ථ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මගින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා විධිමත් කිරීම එහි අරමුණ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණය පහතින්.

041cb5eb5a3dcdd94e2ea65cde820d6c

ජයග්‍රහණයට හොඳම කාලය එනතෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා – පැෆරල්

බලයේ සිටින පාලකයන්ගේ ජයග්‍රහණය සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන බලවේගයට අවශ්‍ය පරිදි මැතිවරණ සිතියම හකුළමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

කිසිඳු නිතියකින් තොරව මැතිවරණ කල් දැමිමට හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවත්, මෙය බරපතළ ලෙස රටේ ව්‍යවස්ථාවට එරෙහිව යාමක් බවයි පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

අලි සබ්රි රහීම්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක්

ඊයේ (26) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් හට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එය ස්ථිර කර ඇති බවත් සඳහන් වන අතර පාර්ලිමේන්තුවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ යෝජනාව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා වෙත ලබාදීමට නියමිත බවත් සඳහන්.

ඔහු පසුගියදා මෙරටට නීතිවිරෝධී ලෙස රත්‍රං, දුරකථන රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර පසුව රු. මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරීම යන කාරණය මුල් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙයි

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා

ඒ අනුව තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට

ජනක රත්නායක උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර අද (24) සවස ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ජනක රත්නායක ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ප්‍රශ්නවලින් පසු විවාදය ආරම්භ වීමට නියමිතයි.

පසුව අද සවස ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වන විට නඩු කටයුත්තක් අධිකරණයේ විභාග වෙමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වේවි – රුවන් විජයවර්ධන

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.

නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ව්‍යාපාරිකයන් දේශපාලක​යන්ගේ වහලුන් නොවිය යුතුයි – සජිත්

ව්‍යාපාරිකයන් දේශපාලකයන්ගේ වහලුන් බවට පත් නොවී, ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දේශපාලකයන්ගේ වගකීම වන්නේ ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන පැරණි ක්‍රමය බැහැර කර, සිස්ටම් එක තුළින් පිළිතුරු ලැබෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අපක්ෂපාතී විනිවිධභාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් ඇති විට අල්ලස්, පගා ගැටලුවලටද විසඳුම් ලැබෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඡන්ද විමසීමේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල ඇතුලු ධූර කිහිපයක් සඳහා සාමාජිකයින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා.