නවීන් දිසානායකට ලබන සතියේ ආණ්ඩුකාර ධූරයක් හිමිවීමට නියමිතයි – රුවන් විජේවර්ධන

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායකට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඒ අනුව ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලබන අඟහරුවාදා දිනයේ ඔහුට එම ධූරය හිමිවනු ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අද සිට විරෝධතා ආරම්භ කරයි

ජාතික ජන බලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ‍”ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන මැයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.
අද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වෙන එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.

පොලිස් රාජකාරියට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පොලිස් රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ජුලි 25 දක්වා කල් යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු නමුත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන මධ්‍යම කාරක සභාවේදී ඒකමතික තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) පස්වරුවේ රැස්වී තිබෙනවා.

ඒ අනුව රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරන්නේ.

එහිදී මොන ආකාරයෙන් කටයුතු කළ යුත්තේද යන්න සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යන බවත් මෙම යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරියට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි බැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එන්. ඒ. ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනය දක්වා කල් තබා තිබුණා.

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (06) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට ජූනි 7 වැනි බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

අද දිනයේ සිවිල් ගුවන් සේවා පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කරන්න ඕනේ – සජිත්

වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට මෙහිදී තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවත්, මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ එකමුතුවේ අනුකමිටුව රැස්වෙයි

විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනුකමිටුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

යෝජිත මෙම පනත තුළින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට, මාධ්‍යවේදීන්ට දඩ පැනවීමට හා විද්‍යුත් මාධ්‍ය අහෝසි කිරීමට බලය පැවරෙන බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.