පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීම ජුලි 26 දක්වා කල් තබයි

නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් අද (24) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

කෙසේ නමුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

හරීන් සහ මනූෂව සජබයෙන් ඉවත් කරයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට දිනයේ රේගු ආඥාපනත යටතේ සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක්

අද (28) දිනයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා එහිදී කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

මේ අතර ජුලි 01 වන සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් කථානායකවරයා විසින් නිකුත් කර තිබෙනවා.

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධයි – හර්ෂ

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකළ යුතු නම් එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන අදහස් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ණය කපා හැරීමකින් තොරව යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරනවා නම් රජය ලබාගත් ණය ඒ ආකාරයෙන්ම ගෙවිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් රජයේ යෝජනාව සම්බන්ධයෙන් තවමත් නොදන්නා බවත්, එය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති බවත්, එම යෝජනාවලිය ප්‍රකාරව සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර හෙට සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පැවැත්වීමට නියමිතයි.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරේ

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විවිධ කමිටු විසින් ලබාදුන් නිර්දේශ අනුව මැතිවරණ නීති වෙනස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතීන් ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් අනුමැතිය ලබාදී ඇති බවත්, විටින් විට මැතිවරණ නීති සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක් හඳුන්වා දී එයට මෙම සංශෝධන සියල්ල ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව නව කෙටුම්පතක් සකස් කරන නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.