යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් යයි……

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබීය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.

නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි – අධිකරණ ඇමති……

හජනතාවට සේවාවන් ලබා ගැනීමට පවතින රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන දින වැඩසටහනට අද (02) පෙරවරුවේ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මහජනතාවට යුක්තියට ප්‍රවේශවීමට ඇති අවස්ථා ලබාදීම සඳහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වු දැනුම අවබෝධය ලබා දිය යුතුයි. මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැහැ. මේ තත්ත්වය අවම කිරීම සඳහා දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. 

ආර්ථික අපහසුතාවයන්, භාෂා පිළිබඳව වු ගැටළු යුක්තියට ප්‍රවේශවීමට ඇති ප්‍රධාන බාධකයි. ඒවා නැති කළ යුතුයි. ඇතැම් අවස්ථාවල අපේ රටේ පොලීසියට, අධිකරණයට ජනතාවගෙන් අප්‍රසාදයට පත්වීමට නීතිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට නිසි අවබෝධය නොමැතිවීමත් හේතුවෙනවා. මහජනතාවට සේවය ලබාදීම අපේ මුලික වගකීමක් බවට රාජ්‍ය  සේවකයින් අවබෝධ කරගත යුතුයි. මේ වැඩසටහනේ මුලික අරමුණ වන්නේ නීතිය සම්බන්ධයෙන් වු අවබෝධය ජනතාවට ලබාදීමයි. රාජ්‍ය සේවකයින් වන අපගේ කාර්භාරය ජනතාවට සේවය කිරීම බව අවබෝධ කර ගත යුතුයි. 

ජනතාවට සේවා ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි වැඩසටහන් අමාත්‍යාංශයට පමණක් තනිව කරන්න බැහැ. ඒ වෙනුවෙන් මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයින්ගේ සහාය අවශ්‍යයි. ජනතාවට පවතින ගැටලු විසඳීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් දේශපාලන නියෝජිතයින් එක්ව මෙවැනි වැඩසටහන් මාස තුනකට වරක්වත් සංවිධානය කළ යුතුයි. නව අගවිනිසුරුවරයා රාජකාරී ආරම්භ කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම කඩිනමින් සිදුකළ යුතු බව සඳහන් කළා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයෙන් තොරව තවදුරටත් ඉදිරියට යන්න බැහැ. එය සිදු කළ යුතුමයි. නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ඇතැම් රාජ්‍ය සේවකයින්ට පවා මුලික නීතිය පිළිබඳව වු දැනුම නොමැති විම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. 

මහජනතාවට තමන්ට කැමැති ආහාරයක්  තමන් ප්‍රිය කරන කඩයකින් ලබාගැනීමේ හැකියාව පැවතිය ද තමන්ට කැමැති උසාවියකට නඩුවක් යොමු කිරීමට හැකියාවක් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා තුළින් පරිසරය පමණක් නොව මිනිසුන්ගේ හදවත ද පිරිසිදු කිරීම කළ යුතුයි බව අමාත්‍යවරයා සඳහන් කළේය.,

හිටපු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ඇප හිමිවෙයි….

ක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.

2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇතැයි සඳහන් කළාය.

කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත්, ඒ අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරු විමර්ශනවලට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළේය.

ඒ අනුව සැකකරු සුදුසු කොන්දේසි මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළහ.

ඉන් අනතුරුව මෙම නඩුව ලබන ජනවාරි මස 9 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙයි.

 

රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි…..

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ.

ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණි.

එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

මන්ත්‍රී රෝහිතගේ දියනිය හෙට අධිකරණයට….

ආන්දෝලනාත්මක එකලස් කරන ලදැයි සැලකෙන  ලෑන් කෘෂර්  වර්ගයේ ජීප් රථයේ වත්මන් අයිතිකරු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අද (30) උදෑසන වලාන දූෂණ මර්දන ඒකකයටභාරවීමෙන් අනතුරුව වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද (30) සහ 3.30ට පමණ මතුගම  මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් රාත්‍රී 8 දක්වා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර  පානදුර වලාන දූෂණ මර්දන ඒකකය නිලධාරීන් විසින් මතුගම පොලිසියට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට  මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව  ඇති බව නීතිඥවරයා වෙත දැනුම් දී ඇති බවට වාර්ථා වෙයි…..

කළුතර චන්දන පෙරේරා

මන්ත්‍රී රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය ජූලි 19 වෙනිදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා වන අතර ඔහු මේ වනවිට ඇප මත මුදාහැර තිබේ.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

පොලීසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවත්ය.

ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවනවරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ පුත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවය.

බෝනොවන රෝග පාලනයට ව්‍යායාමවල යෙදීමේ අතිශය වැදගත්කම ජනතාවට කියා දෙමින්, ක්‍රියාශීලී නීරෝගීමත් ජීවන රටාවකට මෙරට ජනතාව යොමුකරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරනු ලබන කාර්යභාරය විශිෂ්ටයි. -සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි-

වර්තමානය වන විට මෙරට ජීවත්වන ජනතාව අතර යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන බෝනොවන රෝග පාලනයටත්, ඉන් ආරක්ෂා වීම සදහාත් ව්‍යායාමවල යෙදීමේ  අතිශය වැදගත්කම  පිළිබඳව ජනතාව දැනුවත් කර  ශාරීරික සුවතා  ක්‍රියාකාරකම්වලට ජනතාව හුරුකරවමින්, සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී නීරෝගීමත්  ජීවන රටාවක් සඳහා මෙරට ජනතාව යොමුකරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගන්නා ප්‍රයත්නය කාලීන ව අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසී ය.

 

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ  ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිණි. සැසිවාරය පසුගිය දා  කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.

 

පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය  කළමනාකරණය කරමින් අවශ්‍ය උපදේශනය, මඟපෙන්වීම ඇතුළු සියලු සහාය ලබා දෙමින් මෙරට මලල ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවන්හි වර්තමාන සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී විශිෂ්ට කාර්යභාරයක් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්  ඉටුකරන බව නියෝජ්‍ය  අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

 

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල්හි  ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකක යම් ප්‍රමාණයක් මේ වන විට ස්ථාපිත කර ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනයට,ප්‍රවර්ධනයට සහ සුරක්ෂිතතාවයට මෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනය ද ට  විශාල දායකත්වයක් ලබා දෙන බව ද පැවසී ය.

 

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට ගෝලීය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් පවතින බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙරට තුළ ද දශක තුනකට එහා ගිය ඉතිහාසයක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට පවතින බව ද සඳහන් කර සිටියේ ය. මෙරට වර්තමානය වන  විට  ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සුවිශේෂී ප්‍රගතියක් අත්කර ‌ගෙන තිබෙන බවත්,  සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන රෝග නිවාරණ හා ප්‍රතිකාර ක්‍රියාවලියේ දී  එම සුවිශේෂී ප්‍රගතිය ඉමහත් දායකත්වයක් ලබා දෙන බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ය.

 

මෙවැනි වාර්ෂික අධ්‍යයන සැසිවාර ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනුම බෙදාගැනීමට මෙන් ම දැනුම වර්ධනය කර ගැනීමට බෙහෙවින් උපකාරීවන බවත්, 2025 අධ්‍යයන සැසිවාරයේ තේමාව වන”ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමෙන් අස්ථි සහ පේෂීවලට සිදුවිය හැකි අනතුරු වළකාලමින් මානව දේහ ක්‍රියාකාරීත්වය තවත් ප්‍රවර්ධනය කරමින්, මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීමට දායක වේ.”යන තේමාව ඉතා කාලෝචිත තේමාවක් බව ද සදහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශීය රටවල් කිහිපයක් නියෝජනය කරමින්  මහාචාර්යවරුන්, විද්වතුන් මෙම අධ්‍යයන සැසිවාරයට සහභාගි වී  දැනුමින් සියලුදෙනා පෝෂණය කිරීමට දායකත්වය ලබා දීම පිළිබඳව ද එම විද්වතුන්හට විශේෂ ස්තූතියක් ද මෙහි දී ඒ මහතා පිරිනමනු ලැබී ය.

 

 

මෙම සැසියේ ආරාධිත විශේෂ දේශනය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ මහාචාර්ය Mike Loosemore මහතා විසින් පවත්වන ලදී.

 

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය 1992 වර්ෂයේ දී පිහිටුවා ඇත. එය ජාත්‍යන්තර ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මූලධර්ම අනුගමනය කරමින් මෙරට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබදව ම කටයුතු කරන විද්‍යාත්මක සංවිධානයකි. එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය ආසියානු ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයට (SLSMA) සහ ජාත්‍යන්තර ක්‍රීඩා වෛද්‍ය සම්මේලනයට අනුබද්ධ ව කටයුතු කරනු ලබයි.

 

ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවට යොමුවන අයගේ පෝෂණය, මානසික තත්ත්වය, අනතුරු වළක්වා ගැනීම, අනතුරකට ලක්වුව හොත් නැවත පුනරුත්තාපනය කිරීම, ක්‍රීඩා කෞෂල්‍යන් ඉහළ නැංවීම, මාංශපේශී චලනයන්ගෙන් සිදුවන ආබාධ හදුනාගෙන අනෙතුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයත් ලබා ගෙන ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම, ජනතාව ප්‍රමුඛ කරගනිමින් ව්‍යායාම සහ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බෝ නොවන රෝගවලින් ජනතාව මුදවාගැනීමට සහ වළක්වා ගැනීමට ව්‍යායාමවල සහ ක්‍රීඩාවේ වැදගත්කම පිළිබදව ප්‍රජාව දැනුවත් කරමින් ඔවුන් එයට නැඹුරු කිරීම යන කාර්යයන් ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමය ඉටුකරනු ලබන කාර්යන්ගෙන් කිහිපයක් වේ.

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) වත්මන් සභාපති  ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් මඩහපොල, ලේකම් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබද විශේෂඥ වෛද්‍ය රංගන හෙට්ටිගේ, උප සභාපති මෙන් ම 2025 අධ්‍යයන සැසිවාරයේ සභාපති ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු මානගේ, යන මහත්වරුන් මෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, භෞතචිකිත්සකයන්, ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ආවේ, කොටි හිතවාදීන් මුණ ගැසීමට – විමල්

මෙරටට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් හමු‍වූයේ LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය හා එම මතවාදය සමඟ තවදුරටත් කටයුතු කරන කොටස් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, ඔහුව හමුවිම සඳහා මෙරට යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබාදුන්, විවිධ හේතූන් මත රටවල්වලට ඇතුළුවීම තහනම් කර ඇති ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ඉල්ලීම් කර තිබූ බවත්, නමුත් ඔහුව හමුවීම සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලංකාවට පැමිණියේ කොටි හිතවාදීන් මුණ ගැසී, කොටි හිතවාදීන්ගේ වුවමනාව මත සකස් කරන ලද වාර්තාවකට ශ්‍රී ලංකාව හිර කිරීමේ අරමුණින් බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රි ලංකාවට සාමය දිනාදුන් ආරක්ෂක හමුදා රණවිරුවන් හා ප්‍රධානීන් ගොදුරු කර ගැනීමේ ක්‍රියාන්විතයේ තීරණාත්මක පිම්ම පැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ලංකාවට පැමිණි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුව

මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.
පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්‍ෂයද කටයුතු කර නැත.
එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යවා ඇති ලැයිස්තුව මෙසේය.
1.තිස්ස අත්තනායක
2.හරින් ප්‍රනාන්දු
3.ඉමිතියාස් බකීර් මාකර්
4.ඩයනා ගමගේ
5.ශිරාල් ලක්තිලක
6.රන්ජිත් මද්දුම බන්ඩාර
7මයන්ත දිසානායක