විදුලි ගාස්තු සංශෝධනය ගැන නීතිමය මතය විමසීම​ට PUCSL තීරණය කරයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එසේම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ට වන්දි

නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) පැවති කැබිනට් හමුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් විසින් විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කරුණු දැක්වීම හේතුවෙන් සංජීව ධම්මික සහ ආනන්ද පාලිත සිය විරෝධය පළ කරමින් කටයුතු කර තිබුණා.

මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

5f7dd75a488d72f852cfcf3f8d7997a0

වරාය සේවකයන් බදුවලට එරෙහිව දැඩි විරෝධතාවක

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය අද (23) කෑම පැයේදී කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා වරාය සේවකයන් විශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

නිදහස් දින සැමරුමට එරෙහිව හිරුණිකා විරෝධතාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගාලුමුවදොර ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරතවී තිබෙනවා.

රටේ ජනතාව බොහෝ අසීරුතාවන්ට මුහුණ පා ඇති කාල සීමාවක, මිලියන 200ක් වියදම් කර මෙවර නිදහස් දිනය සැමරීමට එරෙහිවයි මෙම විරෝධතාව සිදුකරන තිබෙන්නේ.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින මොහොතක මෙවැනි නිදහස් උත්වයක් සැමරීමට නොහැකි බවද, ජනතාවද මේ සඳහා විරෝධය දැක්විය යුතු බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විභාග කාලසීමාවේ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැක්කේ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා – විදුලි ඉංජිනේරු සංගමය

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වූයේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාල සීමාවන්හී දී ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

නැප්තා නොමැති වුවහොත් යළිත් කැළණිතිස්ස බලාගාරය නැවතිය හැකි බවත් විදුලිය ජනනය කිරීමට සිදුවන්නේ ඩීසල්වලින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද සිට කළු විරෝධතා සතියක්

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද (23) සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අදින් ආරම්භ වන විරෝධතා සතිය ‘කළු විරෝධතා සතිය’ ලෙස නම් කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන ලෙස රජයට බල කරන බවයි ඔහු සඳහන් කළේ.

එසේම එම සතිය තුළ සියලුම රෝහල් කළු පාටින් සැරසීමටත්, විරෝධතා දැක්වීම හා කළු පටි පැළදීම වැනි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අනුව අද උදෑසන 8.00 සිට 12.00 දක්වා සේවයෙන් බැහැරවෙන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ. ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර දිවයින පුරා රෝහල්වල උද්ඝෝෂණ සහ පාගමන් සංවිධානය කරන බවයි ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ.

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරා රිමාන්ඩ්

නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව සැකකරු පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.