ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA

මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත්වෙයි

2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලුම පාර්ශව එකළඟතාව පළ කර බවයි නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා.

a97618f88952ed376109895234b26513.jprg

 

ගල් අඟුරු සංචිත පිළිබඳ​ව දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබාගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ප්‍රතිපත්ති සමාලෝචනයට හා විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පිළිබඳව ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

පෙබරවාරි මාසය තුළ තවත් ගල් අඟුරු නෞකා 07ක්, මාර්තු මාසය තුළ නෞකා 07ක් සහ අප්‍රේල් මාසය තුළ නෞකා 07ක් ලෙස ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඊට අදාළ මුදල් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල අමාත්‍යංශ ලේකම් සහ මහජ​න උපයෝගීතා කොමිසමේ සභාපති අද මානව හිමිකම් කොමිසම හමුවට

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ඉකුත් 23 වනදා මානව හිමිකම් කොමිසම එම නිලධාරීන් වෙත ලිපියකින් දැනුම්දී තිබුණා.

නමුත් ඒ පිළිබඳව දෙපාර්ශ්වයම විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ගම්පොලදී ATM යන්ත්‍රයක් සොරාගනී

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (24) රාත්‍රි 12.40ට පමණ මෙය සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

44 හැවිරිදි Chris Hipkins නවසීලන්තයේ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins මෙලෙස දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයෙකු සහ පොලිස් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලි බිල වැඩි කිරීමේ අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව පෙත්සමක්

ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම යනු ස්වාධීන කොමිසමක් හෙයින් මෙවැනි නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිර දඬුවම්ද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

00f2e79203644b3f0e7e1851ef77dbef