පසුගිය වසර 05 තුළ මෙරට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් එක් අයෙක් විදෙස් රටකින් වාහනයක් ගෙනල්ලා – මුදල් රාජ්‍ය ඇමති

රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයින් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714 ක් බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනගහනයෙන් අවුරුදු 18 ට අඩු පිරිස සහ අවුරුදු 70 ට වැඩි පිරිස ඉවත් කළ විට ජනගහනයෙන් 62% ක් මෙලෙස වසර 5 ක් තුළ 2,498,714 වාහන ගෙන්වා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ වාහනවලින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මෙය රටේ ආනයන, විනිමය වැය කිරීම් රටාව පිළිබඳ හොඳින් පෙන්නුම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
එසේම වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව අද (09) පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායකවරයා මේ බව දැනුම් දෙමින් සඳහන් කළේ, ඇතිවූ පුරප්පාඩුව සඳහා නීතීඥ රවුෆ් හකීම් පත්කර ඇති බවයි.

මංකිපොක්ස් ගැන අනියත බියක් ඇති කරගන්න එපා – සෞඛ්‍ය අංශ

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

මෙරටින් මේ වන විට  හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ගෙන ඇති බවයි විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පුද්ගලයින් 22 ක් රෝහල්ගත කෙරේ

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේදී අද (09) අලුයම බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ

සාමාන්‍ය පෙළ සිසුවාට පහරදීමේ සිද්ධියට සිසුන් 06ක් අත්අඩංගුවට

කටුගස්තොට පාසලක සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටි සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සැකපිට සිසුන් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් මෙලෙස අත්අඩගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිරිස මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 06 වනදා සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින අතරතුරදී සැකකාර සිසුන් විසින් අදාළ සිසුවාට සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ජුනි 21දා විවාදයට ගැනීමට තීරණය කෙරේ

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ජුනි 21දා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගත ඉන්ධන පිරවුම්හල් 1050 න් 423ක් පමණක් පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන තිබූ බව මෙහිදී අනාවරණය වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ඉන්ධනහල් 255ක් කිසිදු ඉන්ධන වර්ගයක් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවත් ඉන්ධනහල් 363ක් එක් ඉන්ධන වර්ගයක පමණක් අවම තොග පවත්වාගෙන ගොස් ඇති බවද නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පිරවුම්හල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

2023 අවසන් වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරනවා – ෂෙහාන් සේමසිංහ

මෙම වසර අවසානය වන විට රටේ පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව ඔහු සඳහන් කළේ, රජය බලාපොරොත්තු වන මට්ටමේ ස්ථාවරත්වයක් තවමත් ඇතිවී නොමැති බවයි.
මුදල් අමාත්‍යංශය හා මහා භාණ්ඩාගාරය කටයුතු කරන ආකාරයට මෙම වසර අවසාන වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිකර හැකි බවට විශ්වාස කරන බවත් ඒ තුළින් 2024 ආර්ථික වර්ධනයට අවශ්‍ය උත්තේජනය ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලක තමා නිවැරදිකරු බවට ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ගොස් සිටියදී එරට කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවටයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඔහුට එරෙහි නඩුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4 න් 3 ක් පසුගිය නඩු වාරයේදී ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර එක් චෝදනාවක් සම්බන්ධයෙන් පමණක් නඩුව ඉදිරියට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි ඔහු සඳහන් කරන්නේ.