IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසයේ ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවන ණය වාරිකය සදහා ලබන මාසයේ අනුමැතිය හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම ප්‍රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදළ නිවේදනය පහතින්,

65607262e3293

ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන ලෙස ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් නියෝගයක්

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නඩු ගාස්තු ඔහුට ලබා ගැනීමට හැකි වන පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) කැඳවූ අවස්ථාවේදී රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු තිබූ බවට පෙන්වාදී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර නඩු විභාගයකින් අනතුරුව ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.

ක්‍රිකට් නඩුව වැඩිදුර සලකා බැලීම යළිත් සඳුදා දක්වා කල් තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට එරෙහි නඩුව වැඩිදුර සලකා බැලීම සඳහා සඳුදා (27) දිනය දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම් අද (24) යළි කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

උඩරට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර, බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමග උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස් කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා සිදුවී තිබුණු අතර, මේ හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නානුඔය දක්වා සීමා කිරිමට කටයුතු කර තිබුණා.

පාරිභෝගික කටයුතු අධිකාරිය රුපියල් කෝටි 24 ක දඩ මුදල් අය කරගනියි

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24 ක දඩ මුදල් අය කරගැනීමට හැකිවූ බව පාරිහෝගික කටයුතු අධිකාරිය පවසනවා.

වැටලීම් 22,000 ක් සිදුකර ඇති බවත්, ඒ අතරින් සහල් වැටලීම් 3,151 ක් සහ සීනි වැටලීම් 510 ක් පමණ සිදුකර ඇති බවද එම අධිකාරිය සඳහන් කළා.

මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල හා සෞඛ්‍ය ලේකම්වරුන් පත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්.පී.ඩී.යූ.කේ.මාපා පතිරණ පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පත් කිරීම වලංගු බවයි සඳහන් වන්නේ.

එසේම වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා පත්කර ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

හෙට (24) පැය 16 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (24) පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව සඳහන්.

2023 අයවැය යෝජනාවලින් 86% ක් ක්‍රියාත්මකයි – රංජිත් සියඹලාපිටිය

2023 අයවැය යෝජනා අතරින් 86% ක් මේ වනවිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒවා අතර මධ්‍යකාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි විපක්ෂ නායකවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

2023 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා 120 ක් ඉදිරිපත් වූ බවත් එම යෝජනා අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 61ක් තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17 මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත්, දැනට ආරම්භ කර ක්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62 ක් බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

ක්‍රිකට් නඩුව වැඩිදුර සලකා බැලීම යළිත් හෙට දක්වා කල් තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට එරෙහි නඩුව වැඩිදුර සලකා බැලීම සඳහා හෙට (24) දිනය දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම් අද (23) යළි කැඳවූ අවස්ථාවේදී එය සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.