අර්ධ කාලීන රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන සෑදීමට අවධානය

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් සකස් කරන නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සඳහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රැකියා ස්ථානයේ සියලු හිංසාකිරීම් හා ලිංගික හිංසනය ඇති කිරීමට විරුද්ධව අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

සේවකයින්ගේ කැමැත්ත අනුව දින 5 ක සතියක් හා නම්‍යශීලි වැඩ කරන වේලාවක් හඳුන්වා දෙන අතර අර්ධ කාලීන රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන සෑදීමටද කටයුතු කිරීමට නියමිතයි.

කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීතියේ සඳහන් නෛතික ප්‍රතිපාදන ලිහිල් කරන අතර පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට කටයුතු කරන බවයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

වාහන ආනයනයට අවස්ථාව ලබාදෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි ඉල්ලා සිටිනවා.

ඩොලර් වැයවීමකින් තොරව ජපානයෙන් වාහන ආනයනය කිරීමට තම සංගමයට හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ජපානයෙන් ණය ලබාගෙන වාහන ආනයනය කිරීමට හැකි බවත් අලුත් වාහනයක් සඳහා 70%ක් අඩුවෙන් ගෙවීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගැන දැනුම්දීමක්

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී, ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නගර 18ක් කේන්ද්‍ර කරමින් එම ඇගයීම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කරන අතර ඒ සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුම්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබෙනවා.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ, ජුනි මස 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

648986690c8d0pdf_page_0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැලඳුනු ළමුන් 35 ක් ප්‍රතිකාර ලබයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35 ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.
ඒ අනුව දිනකට රෝගීන් 3-4 ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට රෝහලට පැමිණෙන බවත්, රක්තපාත තත්ත්වයට පත්ව ඇති රෝගීන් 7 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කළේ.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් තම නිවෙස් පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, නිවිතිගල, කළවාන, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා ද ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහාද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකීය මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගනී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුම ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගෙන තිබෙනවා.
පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී ManKiwwa වෙත මෙම සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි.
ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසනවා.

මියගිය වෛද්‍යවරයෙකුගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවෙයි

තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවී ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අවිවාහක වෛද්‍යවරයෙක් බවයි සඳහන් වන්නේ.

ජනපති ලබන සතියේ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිතයි – බන්දුල ගුණවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව එම සංචාරයේදී පැරිස් සමාජයේ සාමාජිකයින් සමග මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාන් ආඥා පනත අවලංගු කෙරේ

පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවා තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බවට හඳුනාගෙන ඇති බවයි එම කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.