සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම්ගෙන් CID යට ප්‍රකාශයක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද (30) එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඔහු ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.

රොෂාන් රණසිංහට විරෝධතා ගොනුකිරීමට කාලය ලබාදෙයි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට කාලය ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ එම පෙත්සම අද (30) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙසයි අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

බදුල්ලේ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක්

බදුල්ල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ විශාල වැඩිවීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ.

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ රට පුරා ඩෙංගු රෝගීන් 75,000 ක් පමණ වාර්තා වී ඇති අතර, බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම යන පළාත්වලින් වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති බවට වාර්තා වනවා.

ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මාස 6 ක් තුළ නිකුත් කිරීමට පියවර

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව එහි මුද්‍රණ කටයුතු මෙම සතියේ ආරම්භ කරන බවත් ලක්ෂ 9 කට අධීක රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍ය සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව නිල ණය හිමි කමිටුව තහවුරු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම එකඟතාව ලැබී ඇති බවයි X පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සියළුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහයෝගීතාවට ස්තූතිය පළ කරන බවයි අදාළ පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

65670eb123419

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සම​ඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි 600 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවයි.

සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 ක ‍තොගය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසනවා.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට සැලසුම් ක්‍රියාත්මක කරනවා – වැඩබලන පොලිස්පති

ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට ඉදිරියේදී සැලසුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

තමා ළඟට සේවයට ලබා ගැනීමට පැමිණි කිසිවෙකුගේ පක්ෂයක්, පාටක්, කුලයක්, ජාතියක් හෝ ආගමක් බලා තමන් ක්‍රියාකර නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී එය සෑම පුද්ගලයෙකුටම ක්‍රියාවෙන්ම දැකගත හැකි වනු ඇති බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව නීතීඥවරයෙක් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම අම්බුළුවාවට

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළැඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

Amber Adventure සමාගම සමඟ මෙය අත්සන් තබා ඇති අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහාය China Machine-Building International Corporation විසින් ලබාදීමට නියමිතයි.

6567079b4a8cf 6567079b3f9a7

රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයි – ජනපති

මෙරට ආර්ථිකයේ තිරසර භාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ සියළු දෙනා කැපවී වැඩ කිරීම තුළින් බිඳ නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් කරා රට ඔසවා තැබිය හැකි බවයි ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.