අධික වර්ෂාව නිසා මැදිරිගිරියේ කුඹුරු අක්කර 1000 ක් විනාශයි

දින ගණනාවක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුරු අක්කර 1000 ක් පමණ විනාශ වී තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, මින්නේරිය හා මොරගහකන්ද යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කුඹුරු ජලයෙන් යටවීමෙන් මෙසේ ගොයම විනාශ වී ඇති බවයි ගොවියන් පවසන්නේ.

2024 වසරේ සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්

මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපැයීම අපේක්ෂාව බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

පසුගිය වසරේදී සංචාරකයින් ලක්ෂ 15 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ අතර එම වසරේදී සංචාරකයින් 1,487,303 ක් පැමිණ තිබුණා.

තවමත් මහ වැව් වාන්දමයි

ගලෙන්බිදුණුවැවට අද දින වර්ෂාපතනයක් නොලැබුනද තවමත් ගලෙන්බිදුණුවැව වාර්මාර්ග දේපාර්ථමෙන්තුව යටතේ පවතින හුරුළුවැව සහ අලුත් දිවුල්වැව වාන්දමමින් පවතින බව ගලෙන්බිදුණුවැව වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මේ වන විට හුරුළුවැවෙන් වාන් ජලය ගණඅඩි 626 ක් ප්‍රමානයක් යාං ඔයට මුදාහැරෙන අතර අලුත් දිවුල්වැවේ දොරටු හතරක් අඩියක ප්‍රමානයකින් ජලය යාංඔයට මුදාහැරීමට කටයුතු යොදා ඇති බව හුරුලු වැව හා අලුත් දිවුල්වැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා අප කල විමසීමකදී පැවසීය .මේ අතර ගලෙන්බිදුණුවැව කුඩා වැව් බොහොමයක් මේ වන විටත් පිටාර දමමින් පවතී.

2024.01.02 දින පැය 0030 සිට 2024.01.03 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.02 දින පැය 0030 සිට 2024.01.03 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 287g
අයිස් 246g
ගංජා 05kg 400 g
ගංජා පැල 19,052 ක්
මාවා 104g
ඈෂ් 95 g
මත්පෙති 119 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1182 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 44 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මහා පරිමාණ ව්‍යාපාරිකයින් බදු දැලට හසු කරගැනීමට වෙනම ඒකකයක් ස්ථාපනය කළා – මුදල් අමාත්‍යාංශ ලේකම්

මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

Large tax Payer Unit ලෙස දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඒකකයක් ඇති බවත්, මෑතකදී High Net-worth Costumers Unit ලෙස නව ඒකකයක් ස්ථාපිත කළ බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

එයට මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් ඇතුළු පිරිස් අයත් වන බවත් ඔවුන්ගෙන් ලැබිය යුතු බද්ද, රටට ඒ ආකාරයෙන් ලැබෙනවාද යන්න තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

ජපානයේ ගුවන් යානයක ගින්නක්

ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

2024 වසර සුබ වසරක් වන බව පැහැදිළියි – එස්.එම්. චන්ද්‍රසේ​න

2024 වසරේ ජනතාවට සහන ලබාදීමට හැකි පසුබිමක් ගොඩනැගෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව 2024 වසර සුබ වසරක් වනු ඇති පැහැදිළි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉන්ධන සහ වැට් බද්ද වැඩිවීම නිසා ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්, මෙය සදාකාලිකවම පවතින දෙයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රටක් දියුණු කරන්න වෙනම මෙවලම් තිබෙනවා. ඒවා ඔස්සේ රට දියුණු කළ යුතුයි – වජිර

මීළඟ මැතිවරණයේදී විකටයින් පිරිසකට රට භාරදුනහොත් රට යළි පසුබෑමකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එලෙස සිදු වුවහොත් ඒ සඳහා ඔවුනට දෝෂාරෝපණය නොකර එහි වගකීම බොරු පිළිගත් මහජනතාව භාරගත යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමහර දේශපාලන කණ්ඩායම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඉස්මතුකර ඒ තුළින් ලබාගන්නා ඡන්දවලින් රටක් දියුණු කිරීමට උත්සාහ කරන බවත්, එය කිසි දිනෙක සිදු නොවන බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ, රටක් දියුණු කිරීමට නම් වෙනම මෙවලම් ඇති බවත් එම මෙවලම් ඔස්සේ රටක් දියුණු කළ යුතු බවත් ඔහු පැවසුවා.

රට සම්බන්ධයෙන් දර්ශනයක්, ඉලක්කයක් හෝ රට මෙහෙයවීමට වැඩපිළිවෙළක් නැති දේශපාලන පක්ෂවල දක්ෂතාවය වන්නේ අනෙක් පිරිස්වලට හොරු යැයි චෝදනා කරමින් හොරු ඇල්ලීමට අවස්ථාව ලබාදෙන ලෙස පැවසීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා නොගන්නා පුද්ගලයින්ට 50,000 නොඉක්මවූ දඩයක්

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

එසේම තක්සේරු වර්ෂයක යම් තැනැත්තෙකු 1,200,000 ක වැඩි ආදායමක් ලබන්නේ නම් ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙලෙස ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී රුපියල් 50,000 ක් නොඉක්මවන දඩයක්ද පනවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6593d6f16cb66pdf_page_0

Port City යට ඩොලර් මිලියන 100 ක ආයෝජනයකින් පෞද්ගලික රෝහලක්

ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එය අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ලෙස සිදු කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

2023 අංක 8 දරණ කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග යටතේ මෙම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇතැති බවයි සඳහන් වන්නේ.

එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මඟින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6593e5705b39f