වව්නියාව බන්ධනාගාරය තුළ පැනවූ සංචරණ සීමා ඉවතට

වසංගත රෝගී තත්ත්වයක් නිසා වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබුණු සංචරණ සීමාවන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලඳීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බවට වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන්  දැනුවත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා Online ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමට පියවර

මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මේ වන විටත් පළාත් පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එම පළාත් පාලන ආයතන තුළ වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලබනවා.
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වියළි කාළගුණයත් සමඟ ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු පවසනවා.

ඒ අනුව විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

විජලන තත්ත්වයෙන් මිදීම සඳහා ළමුන්ට වැඩිපුර දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බවත් උණුසුම් කාලගුණය හේතුවෙන් දරුවන්ට දහවල් සහ සවස විනාඩි 20 ක කාලයක් නෑමට අවස්ථාව ලබාදෙන ලෙසද ඔහු සඳහන් කළා.

සමේ රෝගවලද වැඩිවීමක් ඇතිවිය හැකි බවත් වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

වියළි කාලගුණයෙන් 90,000ක් පීඩාවට පත්වෙයි

පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 04ක පුද්ගලයින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුර යන පළාත්වල දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාව එලෙස පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

පවුල් 27,885කට අයත් පුද්ගලයින් 89,485 දෙනෙකු එලෙස පීඩාවට පත්වී ඇති අතර වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය වන අතර යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ පවුල් 21,714කට අයත් පුද්ගලයින් 69,113 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා.

මීට අමතරව සබරගමුව පළාතේ පවුල් 1,098කට අයත් පුද්ගලයින් 5,734 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1,726කට අයත් පුද්ගලයින් 5,655 දෙනෙකු සහ නැගෙනහිර පළාතේ පවුල් 2,747කට අයත් පුද්ගලයින් 8,983 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම සීමා කෙරේ

අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම පහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ජලාශයේ සක්‍රීය මෙහෙයුම් කාර්යක්ෂමතාව මේ වනවිට 0.9% ක් දක්වා පහතවැටී ඇති බවද, එම තත්ත්වය තුළ දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 350 ක් බවද ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර පවසනවා.

එම ජලය වගාව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද, වගාව සඳහා ජලය නිකුත් කරන්නේ නම්, එහි ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 750 ඉක්මවිය යුතු බවද ඉංජිනේරුවරයා පෙන්වා දෙනවා.

බිත්තර හා කුකුළු මස් කර්මාන්ත සඳහා විදෙස් ආයෝජකයින් දෙදෙනෙක්

මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්ත වෙනුවෙන් විදේශීය ආයෝජකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඉන්දියානු ආයෝජකයින් දෙදෙනෙකු මෙලෙස ඉදිරිපත්ව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් ක‌ළේ.

අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 450ක්

මෙරට ඩිජිටල්කරණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලමක් වන, අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පතක් (Unique Digital Identity) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවද, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවද ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීමට පත්කර ඇති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව සඳහන් කරනවා.

ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක්, එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වෙත බාරදී ඇති බව වාර්තා වෙනවා.

දිනකට බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් මෙරටට

මේ වන විට දෛනිකව බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසවා.
එම සියලු බිත්තර ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද, ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළෙඳසල් හරහා ඇසුරුම් කරන ලද බිත්තරයක් රුපියල් 42කට ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරනවා.
කෙසේනමුත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

හෙද පත්වීම් ගැන කවුරුහරි ජනාධිපතිතුමාට කේවට්ට උපදෙසක් දීලා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හෙද හිඟයක් පැවතීම නිසාවෙන් මෙලෙස කව්රුන් හෝ දුර දිග නොබලා ජනාධිපතිවරයාට කේවට්ට උපදෙසක් ලබා දී ඇති බවද, උසස් හෙද සේවයක ප්‍රයෝජනය ඇත්තේ රෝගියාට බවද එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.
මෙම යෝජනාව ප්‍රකාශ කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවන බවද, එය හකුළා ගැනීමට පියවර නොගතහොත් දිවයින පුරා හෙද නිලධාරී වැඩවර්ජනවලට සහ විරෝධතාවලට යොමු වීමට සිදුවන බවද එහ හිමියන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

නුවරඑළියේ කඳු නැගීමට පෙර අවසරයක් ලබාගැනීම අනිවාර්ය කෙරේ

මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා අවසරයක් ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසරය ලබාගත යුතු බවද, එලෙස ලබාගත් අවසරය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සංචාරය සඳහා අවසර හිමිවන බවද ඔහු සඳහන් කරනවා.
ග්‍රේට්වෙස්ටන් ප්‍රදේශයේ කඳු මුදුන ආශ්‍රිතව පසුගියදා මළ සිරුරක් සොයාගැනීමෙන් පසු, ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.