A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් සිදුකරන තුරු මෙම උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම සුබසාධන දීමනාව

අස්වැසුම සුබසාධන දීමනාව පවුල් ලක්ෂ 20කට ලබාදීමට තීරණය කර තිබුණත්, එය ලක්ෂ 24 ක් දක්වා වර්ධනය කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව තවත් ලක්ෂ 4 කට අස්වැසුම සුබසාධන දීමනා ලබා දීම සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පවුල් තෝරා ගැනීමේ දී විවිධ අපහසුතා නිසා අයදුම්පත් යොමු කිරීමට න‍ොහැකි වූ අය සිටින බවද, ඒ අය සඳහා මෙසේ 10 වැනිදා යළි අයදුම්පත් කැඳවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු විජේරත්න

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන්, අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අවම ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත්, එසේ වැඩි නොවුනහොත් අකමැත්තෙන් හෝ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 878 ක් අල්ලයි.

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 878 ක් අල්ලයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 649 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229 ක් සමගින් මුළු සැකකරුවන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 130g
අයිස් 134g
ගංජා 01kg 200g
මාවා 136g
මදනමෝදක 01kg 100g
මත්පෙති 2,211

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 649 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 15 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 229 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 08 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත

නිදහස් දිනය වෙනුවෙන් සුරාසල් වැසේ

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි එම න‍ිවේදනයේ සඳහන් වන්නේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පේරාදෙණිය තානායම ආසන්නයේදී මෙලෙස පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණෙයි

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කලාපීය ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සංදේශයක්

පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල වල අභිමානය විනාශ කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හෙට (01) දිනයේ සිට යළි වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිදු කළ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරන සියලුම වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත විවෘත සංදේශයක් යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

කොළඹ වරායට එන නැව් සංඛ්‍යාවේ ඉහළ යෑමක්

2024 වසරේ ගත වූ දින 29 තුළ පමණක් නෞකා 330කට අධික ප්‍රමාණයක් කොළඹ වරායට සේන්දු වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර සඳහන් කරනවා.

රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළ ගොස් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම, කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ද ඉහළ ‍ගොස් ඇති බවත්, පසුගිය දින 29 තුළ පමණක් වරාය අධිකාරියට අයත් පර්යන්තවල සිදු කළ බහාලුම් මෙහෙයුම් ධාරිතාවය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 60.9% කින් ඉහළගොස් ඇති බවයි මෙහෙයුම් අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පවසන්නේ.

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය ආරම්භ වෙයි

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය අසලින් එම විරෝධතාව මේ වන විට ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම විරෝධතා රැළියට එරෙහිව අධිකරණ නියෝග කිහිපයක්ද මේ වන විට ලබාදී තිබෙනවා.