අවිස්සාවේල්ලේ පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තව කාලයක් යනකම් වාහන ආ​නයනයට අවස්ථාව ලැබෙන එකක් නැහැ – බන්දුල

පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව කාලයකට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි අද (06) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව හා අනෙකුත් ආයතන විසින් ලිහිල් කරන දෑ පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

යුක්තිය මෙහෙයුම පටන් අරන් අදට දින 50 යි. දිවයින පුරා අපරාධකරුවන් 56,541ක් අල්ලයි.

 

යුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 වන දින සිට දින 50 ක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් සමගින් මුළු සැකකරුවන් 56,541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 142kg 541g
අයිස් 208 kg 290 g
කොකේන් 974 g 605 mg
අබිං 49 kg 200 g
හෂීස් 07 kg 210 g
ඈෂ් 36 kg 800 g
ගංජා 2678 kg 910 g
ගංජා පැල 4,347,787
මාවා 162 kg 251 g
තූල් 07 kg 123 g
කුෂ් 02 kg 040 g
මදන මෝදක 19kg 906g
මත්පෙති 360,821 ක්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,981 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,083 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 7,733 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම මිලියන 726 කට ආසන්න බව අනාවරණය වී ඇත

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,983 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,117ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 5,286 ක්ද සිටි

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 262 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 318 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

චාල්ස් රජුට පිළිකාවක්

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය අනාවරණය කරයි.

“රජුගේ මෑතකාලීන පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු රෝහල් ක්‍රියා පටිපාටිය අතරතුර, සැලකිලිමත් විය යුතු වෙනම ගැටළුවක් සටහන් විය. පසුව කරන ලද රෝග විනිශ්චය පරීක්ෂණ මගින් පිළිකා වර්ගයක් හඳුනාගෙන ඇත,” යැයි මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

“මහරජතුමා අද සිට නිතිපතා ප්‍රතිකාර කිරීමේ කාලසටහනක් ආරම්භ කර ඇති අතර, එම කාලය තුළ මහජනතාවට මුහුණ දෙන රාජකාරි කල්දමන ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී ඇත. මෙම කාලය පුරාවටම, උතුමාණෝ සුපුරුදු පරිදි රාජ්‍ය ව්‍යාපාර සහ නිල ලේඛන කටයුතු කරගෙන යනු ඇත. ඔහු තම ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර, හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය සේවයට පැමිණීමට බලාපොරොත්තු වේ, ”ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කරයි.

පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතුයි – පාරිභෝගික අධිකාරිය

පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව පාරිභෝගිකයාට පාන් ගෙඩියක බර පරික්ෂා කර බැලීමට අවස්ථාව සලසා දිය යුතු බවයි එහි අධ්‍යක්ෂ (විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකය) සංජය ඉරසිංහ සඳහන් කළේ.

එසේ තරාදියක් නොමැති නම් 1977 දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු ගෙනාපු බෙහෙත් බොන්න බෑ, සිංගප්පූරුවෙන් ගෙනාපු බෙහෙත් ඕන කියලා කියනවලු – වෛද්‍ය රුක්ෂාන්

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඔහු විසින් ගෙන ආ බෙහෙත් වර්ග ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ වෙනුවට ඔහුට සිංගප්පූරුවෙන් ගෙන් වූ ඖෂධ ලබා ගැනීමට අවශ්‍යයැයි පවසන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ.

එසේම ඔහුට බන්ධනාගාර රෝහලේ සිටීමට නොහැකි බවත්, පෞද්ගලික රෝහලක නවාතැන් දෙන ලෙසද ඉල්ලා සිටින බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළා.

කෙහෙළිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (05) ආරම්භ කළා.

ඒ අනුව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ ඇතුළු පාර්ශව රැසක් එක්ව මෙම මහජන පෙත්සම් අත්සන් කිරීමට සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් කළ යුතු බවයි.

වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් වාර්තා වෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

වසරකට ළමා පිළිකා රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

ළමුන්ගේ දෛනික ක්‍රියාකාරකම් අඩු වීම හා කෙටි ආහාර සහ පැණි බීමවලට ළමුන් වැඩි පිරිසක් හුරුවීම මෙලෙස පිළිකා රෝගී තත්ත්වයන්ට බලපා ඇති බවද ඔහු සඳහන් කළා

76 වන නිදහස විදේශ සංචාරකයින්ද සමරති

76 වන ජාතික නිදහස් දින සැමරුම් දින වැඩසටහන් විදෙස් සංචාරකයින් ගේ සහභාගීත්වයෙන් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේ දී පවත්වන ලදී.

ජාතික ධජය ඔසවා , ජාතික ගීය ගායනා කිරීමෙන් පසු රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා විනාඩියක නිශ්සබ්දතාවයක් සිදුකර හෙල සංස්කෘතික නර්තනාංග රාශියකින්ද වැඩසටහන පවත්වන ලදී
මේ සදහා එම හෝටලයේ නවාතැන් ගෙන සිටින එංගලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය, රුසියාව සහ ප්‍රංශය ඇතුළු රටවල විදෙස් සංචාරකයින් එක්ව සිටියහ.

එම හෝටලයේ කළමනාකරු රවී කුරුකුලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පවත්වන ලදී .

WhatsApp Image 2024-02-04 at 16.41.11 WhatsApp Image 2024-02-04 at 16.41.10 (1) WhatsApp Image 2024-02-04 at 16.41.09 WhatsApp Image 2024-02-04 at 16.41.10 WhatsApp Image 2024-02-04 at 16.41.06 WhatsApp Image 2024-02-04 at 16.41.02 WhatsApp Image 2024-02-04 at 16.41.01 WhatsApp Image 2024-02-04 at 16.40.59 WhatsApp Image 2024-02-04 at 16.41.26

ගල්පාත චන්දන පෙරේරා

76 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව

     ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති එක් වෙයි

     ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ,  තුන්වන චාල්ස් රජු ඇතුළු ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.
මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා එක්ව සිටි අතර ලොව සියලුදෙනාගේ සහාය ඇතිව යළි ගොඩනැඟෙමින් සිටින ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට විදහා දැක්වීම මෙහි අරමුණ විය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු විය.
ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යාම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියෝ 100 දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. එමෙන්ම පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ආශීර්වාදාත්මක ගාථා ගායනා කිරීම ද සිදු විය.
මාතෘ භූමියේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා  නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ලොවට පසක් ‍කරමින් 76 වන නිදහස් දින සැමරුම් පෙළපාළිය, ත්‍රිවිධ හමුදාව පොලීසිය,  සිවිල් ආරක්ෂක බළකාය  සහ ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් වර්ණවත් කළහ.
ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදහා දක්වමින් සිංහ ප්‍රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික, ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායට අයත් නිලධාරීහු ජාතික ධජ රැගෙන පෙළපාළියේ ගමන් කළහ.

ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර විශ්‍රාමික නිලධාරීන් 22 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනෙකු එහි ගමන් කරනු ලැබීය. ත්‍රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාළියක්ද ඊට ඇතුළත් විය.
ආචාර පෙළපාළිය අවසන් වන තුරුම පීඨිකාව මත රැදී සිටි ජනාධිපතිවරයා එහි ගමන් කළ සියලු රණවිරුවන් වෙත සිය ගෞරවය පිරිනැමීම ද විශේෂත්වයකි.
එමෙන්ම ශ්‍රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන කෆිර් යානා ඇතුළු ගුවන් සන්දර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකාව සතු නාවික ශක්තිය ද අභිමානවත්ව ප්‍රදර්ශනය කෙරිණි.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන පැරිෂුට් භටයන් තිස් දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති පැරෂුට් සන්දර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
මේ අතර ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්,  රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජිංපින්,  දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල්, ඉන්දීය ජනාධිපති ද්‍රෟපදි මුර්මු, ලිබියානු ජනාධිපති ආචාර්ය මොහොමඩ් වයි. අල්-මෙන්ෆි, සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම්, ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි යන මහත්වරු මෙන්ම පාකිස්ථාන ජනාධිපති, බංග්ලාදේශ ජනාධිපති සහ කුවේට් රාජ්‍යයේ එමීර්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර තිබිණි.
මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, 76 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි මහතා ඇතුළු තායිලන්ත දූත පිරිස සහ  විදෙස් තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.