බංග්ලාදේශයෙන් ලබාගත් ණයේ දෙවන වාරිකයත් ගෙවයි

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය ද ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් ගෙවා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය මාසයේ දී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණා.

ඉන්ධන QR ක්‍රමවේදය ඉවත් කෙරේ

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් ඉන්ධන QR ක්‍රමවේදය අද (01) අහෝසි කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට අද (01) තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සීනිගම පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර අද (01) සිට ලබන 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමං හන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින්, විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ඊයේ (31) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64f1377869b19pdf_page_0

මාස තුනක් තුළ දුම්රිය හරස් මාර්ගවල අනතුරු 53 ක් වාර්තා වෙයි

මෙම වසරේ පළමු මාස තුන තුළදී පමණක් දුම්රිය හරස් මාර්ගවල දී අනතුරු 53ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ අනතුරුවලින් පුද්ගලයින් 4 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පසුගිය වසරේ සිදුවූ අනතුරු 94 කින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා දුම්රිය හරස් මාර්ග 1,362 ක් පවතින අතර, ඒ අතරින් දුම්රිය හරස් මාර්ග 289 ක් තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි සඳහන් වන්නේ.

තවත් දුම්රිය හරස් මාර්ග 300 ක් සම්පූර්ණ ආරක්ෂිත තත්ත්වයේ පවතින අතර, සීනු සහ විදුලි පද්ධති මගින් ආවරණය කෙරෙන හරස් මාර්ග ගණන 438 ක් පවතින බවද සඳහන්.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත සෑම දුම්රිය හරස් මාර්ගයකටම ගේට්ටු යෙදීමේ හැකියාවක් නොමැති බවයි දුම්රිය බලධාරින් පෙන්වා දෙන්නේ.

දුමින්ද නාගමුවට නොතීසි නිකුත් කෙරේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද (31) නොතීසි නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව විසින් ප්‍රකාශයක් සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුවට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසයි මෙලෙස නොතීසි නිකුත් කර තිබෙන්නේ.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 64 ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම ගින්න හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 64 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ජනතා අදහස් ලබාගැනීමට තීරණය කෙරේ

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව මෙම ජනතා අදහස් ලබාගැනීම සිදුකරන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ඕනෑම පාර්ශවයකට මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකි බවත් අදාළ අදහස්, යෝජනා, නිර්දේශ ලබන මස 13 වන දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු වනවා.