2024 ජනවාරි සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 342 ක් වාර්තා වෙයි

2024 ජනවාරි මස මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 342 ක් බව විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසනවා.

එය 2023 දෙසැම්බරයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 269ක සංචාරක ඉපැයීම් සහ 2023 ජනවාරි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 154ට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

2020 ජනවාරි මාසයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය වාර්තා කළ ඉහළම ආදායම ද මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වෛද්‍ය සමන් රත්නායක CID ට පැමිණෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ප්‍රශ්ණගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අහුන්ගල්ලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

අද (01) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

අහුංගල්ල පොලිස් වසමේ රිච් හොටලය අසලදී අංක 4926 දරණ කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත

2023.03.01 වන දින පැය 12.15ට පමණ අහුංගල්ල පොලිස් වසමේ රිච් හොටලය අසලදී අංක 4926 දරණ කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිතුමා විසින් දන්වා ඇත. මෙම සිදු වීමෙන් මියගිය පුද්ගලයාගේ විස්තර පහත පරිදි වේ.

නම – ජෝතිමුණි නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නොහොත් මංජු
ලිපිනය – නො 07, පන්සල් මාවත, හිද්දරුව, කොස්ගොඩ
ජා.හැ. අංකය – 780954833 වී

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු කඩිනමින් ලබා දීමට කටයුතු කරමි.

තවද වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටි යතුරුපැදියක් වන අතර එහි අංකය පමණක් අනාවරණය වී ඇති බැවින් අවට පොලිස් ස්ථානයන් සහ මාර්ගබාධක රාජකාරියේ යෙදී සිටින සියළු නිලධාරීන් මේ පිලිබඳව දැනුවත් කර මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන මෙන් දන්වා සිටිමි.

අංකය – 4926 (කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටර් යතුරු පැදියක්)

WhatsApp Image 2024-03-01 at 16.49.21WhatsApp Image 2024-03-01 at 16.05.38 (1) WhatsApp Image 2024-03-01 at 16.05.38 (3) WhatsApp Image 2024-03-01 at 16.05.39 (1) WhatsApp Image 2024-03-01 at 16.05.39

මෛත්‍රීට නිවසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බලරහිත කරයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම

යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කර ඇත.

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

 

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ, වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති සිරිසේන විශ්‍රාම යාමටත් පෙර තමාට හිමි නිවස අමාත්‍ය මණ්ඩලය හරහා වෙන්කර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල එය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

මට කරපු අභූත චෝදනා, නින්දා අපහාස නිසයි මම මෙච්චර ශක්තිමත්ව නැගී සිටියේ – දේශබන්දු තෙන්නකෝන්

ලංකාව තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීම තම අරමුණ බවත්, ඒ වෙනුවෙන් පොලීසියේ දැවැන්ත පරිවර්තනයක් සිදුකරන බවත් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව අභියෝගවලට මුහුණදී වැඩ කරන නිලධාරීන්ට තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරන බවත්, පොලීසියේ සැබෑ දක්ෂයින්ට ඉහළට පැමිණීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමටද තමා කටයුතු කරන බවයි සිය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

විවිධ අයට ඇඟිල්ල දිගුකර චෝදනා කිරීමට හා විවේචනය කිරීමට හැකි බවත්, තමාට පැවරුණ රාජකාරිය තමාට හැකි ශක්ති ප්‍රමාණයෙන් නිවැරදිව සිදුකළ බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

තමා තරම් නින්දා අපහාසවලට හා පහරකෑම්වලට ලක් වූ පොලිස් නිලධාරියෙක් සිටිනවාදැයි ඉතිහාසය පිරික්සා බැලිය යුතු බවත්, තමාට සිදුකළ අභූත චෝදනා හා නින්දා අපහාස නිසා තමා ශක්තිමත්ව නැගී සිටිය බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරත් සඳහන් කළා.

නව පොලිස්පති ජනපතිව හමුවෙයි

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා හමුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ සුහද කථා බහකට ද එක්වී ඇති අතර, නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත  සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කර තිබෙනවා.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මාර්තු 13 සිට

නව ග්‍රාම නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වනදා සිට දින තුනක් සිදුකරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

ඒ අනුව මෙම සම්මුඛ පරික්ෂණ 13, 14 සහ 15  යන තෙදින තුළ පැවැත්වෙන බවයි ඔහු පවසා සිටින්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් වූ 4,232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති බවත්, සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දී තිබුණා.

අද, හෙට සහ අනිද්දා පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස දැනුම්දීමක්

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (01) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙසයි දැනුම්දී ඇත්තේ.

සියලුම පාසල් විදුහල්පතිවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වනවිටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.