ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 1000ක් බඳවා ගැනීමට පියවර

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් වසර 3ක් සඳහා බඳවා ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උත්සව සමය වෙනුවෙන් හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

උත්සව සමයේ ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

ඒ අනුව විශේෂ බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ලබන 10 වැනිදා සිට දෛනිකව විශේෂ දුම්රිය සේවා 12ක් යෙදවීමට තීරණය කර ඇති අතර එම දුම්රිය සේවා ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ සඳහන් කළේ.

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසළ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල අද (03) පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව අද (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහු විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය පෙර ඇපවලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත්කර තිබෙනවා.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ දුම්රිය කාලසටහන පහතින්.

660d2cd2b2bc9pdf_page_2 660d2cd21b222pdf_page_1

සෝල් බීච් කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත්දා දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

සංචාරක කර්මාන්තය සඳහා වාහන 1,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 6ක් නොඉක්මවීම සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සලකන බවත්, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

660bdb014a49c

විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර හිමිවේ

විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙරට හැර විදේශගත වී ඇති බවත්, ඒ හේතුවෙන් සියළුම විශ්ව විද්‍යාලවල බොහෝ පුරප්පාඩු පවතින බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

එම නිසා කරුණු සලකා බලා අළුතෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව සභාපතිවරයා පවසා සිටිනවා.

ඉන්දියානු ණය ආධාර යට​තේ මහව – අනුරාධපුර නව දුම්රිය මාර්ගයට සංඥා පද්ධතියක්

මහව සිට අනුරාධපුරය දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසනවා.

පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක වන එම සංඥා පද්ධතිය සඳහා වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් බවයි සඳහන් වන්නේ.

පසුගියදා ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉන්දියානු ණය ආධාර අනුව අදාළ සංඥා පද්ධතිය මෙරටට ලැබෙනු ඇති බවයි  දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් එම හිමියන් වැරදිකරු කරමින් පසුගියදා දඬුවම් නියම කර තිබුණා.