ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී, ලෙඩ නිවාඩු වාර්තා කරමින්, එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

O/L විභාගය අද සිට ආරම්භ වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා.

අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ඇතුළත්.

අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය ඉහළට

අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

2024.05.05 වන දින පැය 11.00 ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.

එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කල පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ
පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරීනිය බවද සඳහන්වේ.

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරී වරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ඡායාරූප ඇත

WhatsApp Image 2024-05-05 at 14.37.25

 

මැයි මාසය තුළ නව සන්ධානයක් ගොඩනගා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – විමල් වීරවංශ

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන රටට හතුරු වැඩපිළිවෙළට කිසිම ආකාරයකින් සම්මාදම් වීමට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එම වැඩපිළිවෙළ තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හරහා රටට සුගතියක් නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැයි මාසය ඇතුළත තම කණ්ඩායම විසින් නව සන්ධානයක් ගොඩනඟන බවද, එයින් ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබී ඇති බව වාර්තා වෙනවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටළුව මතුවී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ.

මේ වන විට එම ගැටළුව නිරාකරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත්, විභාගයෙන් පසුව එම අදාල නොවන විෂයය සඳහා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට කිසිවිටෙකත් සලකුණු නොවන බවත් ඔහු සඳහන් කරනවා.

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

විවිධ වැරදි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබෙනවා.

අප්‍රේල් මාසයේ යෙදී තිබූ රාමසාන් උත්සව සමය හේතු කොටගෙන මෙම රාජකීය සමාව හිමිව ඇති බවයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.

සමාව හිමිවූ ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ වන විට කටයුතු සූදානම් කරමින් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවා වැඩ වර්ජනය අද තුන්වැනි දිනට

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මෙම ගැටළුවට 8 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසා සිටින්නේ.

සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේජියානු තානාපතිනි May Elin Stener අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙහිදී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු බවයි වාර්තා වෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ‍ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කර ඇති අතර, ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.