විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ ලබන සඳුදා සාකච්ඡා කරනවා – සුරේන් රාඝවන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත්, මෙය මැද මාවතකින් විසඳාගත යුතු යැයි තමා බලාපොරොත්තුව වන බවයි ඔහු සඳහන් කළේ.‍

වර්ජනය මේ ආකාරයෙන් දික්කර ගැනීමට රජයට අවශ්‍ය නොවන බවද, වෘත්තීය සමිති වලට ද මෙය මේ ආකාරයෙන් කරගෙන යෑමට අවශ්‍ය නොවන බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන් ගැන විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර තිබෙනවා.

පසුගිය වසර කිහිපයේදී අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව විවිධ විගණන වාර්තා ඉදිරිපත් කරමින් විගණාකධිපතිවරයා නිර්දේශ කළ බවයි එම කාර්යාලය සඳහන් කරන්නේ.

එම වාර්තා කෝප් හා කෝපා යන කමිටුවලදී නැවත විමර්ශනයට ලක් කල බවත්, පසුව ඒ සම්බන්ධ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, නමුත් එම නිර්දේශවලින් ඇතැම් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් වන්නේ.

දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ ඇතැම් නිලධාරින් තවදුරටත් රජයේ තනතුරු දැරීම ගැටලු සහගත තත්ත්වයක් බව ද විගණන කාර්යාලය වැඩිදුරටත් පවසා සිටිනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවකට වරදකරුවෙකු බවට පත්වෙයි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීම ඇතුළු 34කට අදාළව වරදකරු වන බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගතවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල් චිත්‍රපට නිලියක වූ ස්ටෝමි ඩැනියෙල්ස් සමග පැවැත්වූ සබඳතා වසන් කිරීම සඳහා 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමත්, පසුව ඒ වෙනුවෙන් වංචනික මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සම්බන්ධයෙන් මෙම අපරාධ නඩුව විභාගයට ගෙන තිබුණා.

නඩුව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම ජූලි 11 වැනිදා සිදු කිරීමට නියමිත අතර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඔහුට දඩ මුදලක් නියම වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂිතයා ලෙස තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටිනවා.

මිදිගම රුවන් ශ්‍රී ලංකාවට රැගෙන එයි

පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව රැගෙනවිත් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඩුබායි හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් මීට මාස දෙකකට පමණ පෙර මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

* රෝද දෙකම ඇඟ උඩින් ගිහිල්ලා

ගල්පාත චන්දන ජයලාල්

මෙසේ මරණයට පත් වී ඇත්තේ බෝතලේගම, මානාන, බුලත්සිංහල, පදිංචි (78) හොඳමුණිගේ ඇසිලින් නොනා නැමති කාන්තාවක් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

හොරණ දෙස සිට(285) මාර්ගයේ මතුගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බැල්ලපිටිය හංදිය ආසන්නයේ පිහිටි බස් නැවතුම් පලෙහි නවතා මගීන් නංවා ගැනීමෙන් පසු නැවත ගමන් කිරීමට යාමේදී බස් රථයට ඉදිරියෙන් මාර්ගයේ දකුණු පස සිට වම් පසට පාර මාරු වීමට පැමිණි පදික කාන්තාවක් බස් රථයේ ඉදිරි වම්පස රෝදයට සහ පසුපස රෝද දෙකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටින කාන්තාව පොලිස් නිලධාරීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති අතර රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුට සිදුවූ බස් රථය සහ රියදුරු සහ අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සී.එස් පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප විමල් ආනන්ද මහතා,පො.සැ 32724 රත්නවීර,පො.සැ 60503 දිමුතු ,පො.කො 89321 ඉන්දික විසින් සිදුකරනු ලබයි.

අද සහ හෙට ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (30) දිනයේ ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කීපයක් රට පුරා පාසල්වල ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි ගුරු විදුහල්පති වැටුල් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු වන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, අද සහ හෙට සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

මැයි මාසයේ දින 26 ක් තුළ සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට

2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, මාලදිවයින, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

6657e0162f759 6657e0161e9b7

පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

මාධ්‍ය නිවේදනයයි.

පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

2024.05.29 එනම් ඊයේ දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්න යාපාබණ්ඩාර, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් Nay Pyi Taw නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී උදෑසන 11.30 ට සාකච්ඡා ආරම්භ කළේය. ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය H.E.U. Than Swe මැතිතුමා ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් මේ පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද භාරදෙන ලදී.

එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි Shwe Dagon Pagoda මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන Thanlyin Min Kyaung Sayardaw නායක ස්වාමීන් වහන්සේ සමඟ ද මෙම දරුවන් බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළේය. එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, මෙම දරුවන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් බාරදීම ද සවස 07.30 ට යැංගුම් විහාරස්ථානයේදී සිදුවිය.

-මාධ්‍ය ඒකකය-
2024-05-30

WhatsApp Image 2024-05-30 at 14.55.08 (1) WhatsApp Image 2024-05-30 at 14.55.08 (2) WhatsApp Image 2024-05-30 at 14.55.08 (3) WhatsApp Image 2024-05-30 at 14.55.08 (4) WhatsApp Image 2024-05-30 at 14.55.08 (5) WhatsApp Image 2024-05-30 at 14.55.08

රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය මුට්ටිය දාලා බැලීමක් – මහාචාර්ය ජී.එල්. පීරිස්

මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවට වන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශය මුට්ටිය දා බැලීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමිය යුතු බවට ප්‍රකාශ කළ පසු ජනතා ප්‍රතිචාරය කෙබඳුද යන්න බලා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පක්ෂය හැරුණු විට අනෙකුත් සියලුම පක්ෂ එයට එක හඬින් විරෝධය පළ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.