ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරනවා – ජනපති

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කෙරේ

බුදු දහම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහසන ශිල්පිනී නතා‍ෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් සම්බන්ධව ඇය අත්අඩංගුවට ගත් අතර, එම වැඩසටහන සංවිධානය කළ බවට සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදක බෲනෝ දිවාකරව පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබුණා.

මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හා පීඩන තත්ත්වයන් හදුනාගැනීමේ උපකරණයක් කටුකුරුන්ද මුහුදු වෙරළෙන් හමුවෙයි.

මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හා පීඩන තත්ත්වයන් හදුනාගැනීමේ උපකරණයක් කටුකුරුන්ද මුහුදු වෙරළෙන් හමුවෙයි.

ගල්පාත චන්දන පෙරේරා
කළුතර ,කටුකුරුන්ද පිහිටී හෝටලයක් ආසන්න මුහුදු වෙරලේ තිබී හදුනා නොගත් උපකරණයක් ඊයේ සවස 6 .30 පමන හමුවී ඇති අතර ,එය දුටු පුද්ගලයා කළුතර දකුණ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු ,කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් ඒ පිලිබදව වැඩිපුර පරික්ෂණ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට දැන්වීමෙන් අනතුරුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී ” FRF-500S streamar recovery devis “යන නමින් හදුන්වන මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හෝ පීඩන හදුනා ගැනීමේ උපකරණයක් බවට පරික්ෂණ වලින් හදුනාගෙන ඇති අතර පසුව එය කටුකුරුන්ද පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරින් විසින් එම ස්ථානයෙන් රැගෙන යන ලදි.

කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළට ආසන්නයෙන් ගමන් ගන්නා නැවකින් මෙය වැටෙන්නට ඇතැයි විශ්වාස කරයි.

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබෙනවා.

සිය ගැටලුවලට නිසි පිළිතුරක් නොමැති පසුබිමක සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගැන අධ්‍යයනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි – ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (18) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කුලී ආදායම් බද්ද, ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් සඳහා පමණයි – ජනපති

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවයි ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

ඉංදීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය නාමල් උයනේ සංචාරයක

v24-06-17
කැකිරාව කුෂාන් ජයවර්ධන

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය අද (17) කටයුතු කරනු ලැබුවාය.

ජාතික නාමල් උයන වෙත පැමිණි ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය, ජාතික නාමල් උද්‍යාන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත පිරිකර පූජා කරමින් උන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා නිධිය සහිත ජාතික නාමල් උයනේ පාරිසරික වටපිටාව නිරීක්ෂණයකට එක් විය.

ඉන් අනතුරුව ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය, වනවාසී රාහුල හිමියන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එහිදී ඉන්දිය අගමැති ලෙස අඛණ්ඩව තෙවරක් තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සුභ පැතුම් එක් කරන බව වනවාසී රාහුල හිමියන් එම පිළිඳරේදී කියා සිටියේය, එසේම ඉංදිය නව අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා නැවත ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවකදී නාමල් උයන නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින බව ද උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව සමාජීය, ආර්ථක හා ආගමික වශයෙන්ද ලංකාවට බොහෝ සෙයින් වැදගත් රටක් බව ද වනවාසී රාහුල හිමියෝ මෙහිදී ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය හමුවේ පැවැසූහ.

ලංකාවට ආර්ථික අර්බුද සඳහා මුහුණ දුන් සෑම අවස්ථාවකදීම මෙරට ජන ජීවිතය යථාවත් කර ගැනීමට ඉන්දියාව ලබා දුන් සහය ද මෙහිදී උන්වහන්සේගේ ඇගයීමට ලක්වූ අතර, ලංකාව සමඟ පවතින සම්බන්ධතා හා හිතවත්කම් ඉදිරියටත් වැඩි දියුණු කර ගනිමින් ලංකාවට සහය වන ලෙසද රාහුල හිමියෝ මෙහිදී ඉංදීය සහකාර මහ කොමසාරිස්වරියගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

ජාතික නාමල් උයන සංචාරයට එක්වූ ඉන්දීය සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිරිණැමීමට ද පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ මෙහිදී කටයුතු කළහ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කෙරේ

මෝටර් රථයක් ගැටීම හේතුවෙන් පුපුරා ගිය ජල නලය අද (17) පස්වරුව වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල නලය පුපුරා යාම හේතුවෙන් ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම සඳහා මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වී තිබුණා.

මේ වනවිට එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළය පුපුරා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ගුරු විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වේ

විභාග දෙකක් සඳහා අදාළ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) යන විභාගයන් හි ප්‍රතිඵල ඊයේ (14) නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන්ද විභාග ප්‍රතිඵල ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන්.