මේ දිනවල ළමා හතිය වැනි රෝග තත්ත්වයන් ව​ල ඉහළ යාමක් තිබෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ වන විටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

කැස්ස, හෙම්බිරිසාව, උණ පවතිනවා නම් දරුවන්ව නිවසේ තබාගන්නා ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණයක් පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් එය ළමා හතිය විය හැකි බවත්, කැස්ස, උණ සමග පපුව වේදනා ඇති නම්, උණ දිගටම පවතී නම්, නිව්මෝනියා තත්ත්වයට පත්ව ඇත්දැයි සොයා බැලිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු⁣ සඳහා වියදම් කළ හැකි උපරිමය රු.109කට සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද හිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර, වියදම් කළ හැකි සමස්ත සීමාව රුපියල් 1,868,298,586.00 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66c4045777072pdf_page_0 66c40458aaf9epdf_page_1

මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් වාර්තා වෙයි

මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් අපයෝජනයට පත්කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවයි එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට බලහත්කාරකම් කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 177 ක් බවද වැඩිදුරටත් සඳහන්.

ජපානයේ භුකම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 5.1ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද (19) උදෑසන මෙම භූකම්පනය සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධුරයක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හරීන් ප්‍රනාන්දුට විශේෂ ජනාධිපති උපදේශක ධුරයක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබෙනවා.

රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම සහ බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් නිකිණි පොහොය දිනයේ සිදු වී තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා කෙටි ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙ​රේ

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් අතුරින් කෙටි ලැයිස්තුගත වන (Shortlist) නිර්මාණ අත්පිටපත් 03 අද ප්‍රකාශයට පත්කෙරුණා.

මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස ප්‍රභා මනුරත්න‍, විදර්ශන කන්නන්ගර සහ රංජිත් පෙරේරා කටයුතු කරනවා.

මින් පෙර මෙහි දීර්ඝ ලැයිස්තුගත (Longlist) නිර්මාණ 07 ක් ප්‍රකාශයට පත්කළ අතර ඒ අතුරින් අවසාන වටය සඳහා මෙම නිර්මාණ 03 තෝරා පත්කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 – ජය මූර්ති ප්‍රදානය’ සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

නාමයෝජනා බාරදීමෙන් පසු මැතිවරණ කොමිසමට පැමිණිලි 3ක්

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු, පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මෙම පැමිණිලි තුන වාර්තා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 437 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.