ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අද සිට යළිත් ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම මගී යාත්‍රා සේවය සඳහා Online ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන්කිරීම සඳහා පසුගියදා අවස්ථාව ලබාදී තිබුණා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වනවා.

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ, ජල්තර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ද ගැටී ඇති අතර අනතුරෙන් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් අයෙක් මියගොස් තිබුණා.

දෙවන පාසල් වාරය අදින් අවසන්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 39 ක් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස පිළිගත් අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා.

අදාළ නම් පහතින්.

* දිලිත් සුසන්ත ජයවීර

* සරත් මනමේන්ද්‍ර

* අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්

* එස්. පී. ලියනගේ

* පානි විජේසිරිවර්ධන

* ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම

* අජන්ත ද සොයිසා

* බත්තරමුල්ලේ සීලරතන හිමි

* සරත් ෆොන්සේකා

* නුවන් සංජීව බෝපගේ

* හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්

* ජනක ප්‍රියන්ත රත්නායක

* කේ.කේ පියදාස

* මයිල වාගනම් තිලකරාජා

* සිරිපාල අමරසිංහ

* පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්

* සරත් කීර්තිරත්න

* කේ. ආනන්ද කුලරතන්

* නාමල් රාජපක්ෂ

* අක්මීමන දයාරතන හිමි

* කේ.ආර්. කිෂාන්

* පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ

* විජයදාස රාජපක්ෂ

* අනුර සිඩ්නි ජයරත්න

* සිරිතුංග ජයසූරිය

* මහින්ද දේවගේ

* මොහොමඩ් ඉල්ලයාස්

* ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ

* ඇන්ටනි වික්ටර් පෙරේරා

* කීර්ති වික්‍රමරත්න

* සජිත් ප්‍රේමදාස

* රනිල් වික්‍රමසිංහ

* මරක්කල මානගේ ප්‍රේමසිරි

* ලලිත් ද සිල්වා

නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා 03 ක් ඉදිරිපත් වෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව නාමයෝජනා 03 ක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නාමයෝජනා භාර ගැනීම නිල වශයෙන් අවසන් වෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කාලය නිල වශයෙන් මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් අතරින් 39 ක් නාමයෝජනා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙරවරු 11.00 සිට 11.30 දක්වා විරෝධතා දැක්වීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ..

24-08-15
කැකිරාව කුෂාන් ජයවර්ධන

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ..
============

හදිසියේ ඇති වූ ඇඟ කැමීමේ තත්වයක් හේතුවෙන් තිරප්පනේ ප්‍රෙද්ශයේ පාසැලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. .
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ තිරප්පනය ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුව ලබන සිසුන් පිරිසකි. විදුරුවලින් ආවරණය කළ පංති කාමරය එම සිසුන් ආහාර ගැනීම සිදු කර ඇති අතර ඉන් අනතුරුව සිසුන්ගේ ඇඟ කැසීමේ තත්වයක මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රෝහල් ගතකර ඇති සිසුන් 21 දෙනා අතරින් 06 දෙනෙකුගේ ශරීරයේ පලු දැමීහා බිබිලි මතුවීම සිදුව ඇති බව පැවැසේ.
සිසුන් අතර මෙම ලක්ෂණ පහළ වීමත් සමග විද්‍යාල‍යේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මඟින් එම සිසුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණ.
සෞඛ්‍ය අංශ අනුමාන කරනුයේ ආවරණය කර තිබූ පංති කාමරයේ තිබූ දූවිල්ල හෝ වෙනත් තත්වයක් මත එම සිසුන්ට මෙම ආසාත්මිකතාවය ඇති වන්නට ඇති බවයි.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කලේ වීදුරුවලින් ආවරණය කරන ලද පංති කාමරයක ආහාර ගත් සිසුන් අතර මෙම තත්වය මතුව ඇති බවයි. එසේම ආහාර ගැනීමෙන් පසුව සිසුන් අතර මෙම තත්වය මතුව තිබීම නිසා මෙම තත්වය කිසියම් ආඝ්‍රාහණයකින් සිදුවූයේද නැතිනම් ආහාර හේතුවෙන් සිදු වූයෙ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති බවයි. අද දිනයේ සිසුන් 80කට ආසන්න පිරිසකට මෙලෙස පාසැලෙන් ආහාර ලබා දී තිබූ බවත් ඒ අතරින් සිසුන් 21 දෙනෙකු මෙම ආසාත්මිකතාවයට ලක්ව ඇති බවත් හදුනාගෙන ඇති බැවින් වැඩිදුර විමර්ශණය සඳහා පාසැලෙන් සිසුන්ට ලබා දී තිබූ ආහාරවල සාම්පල ද ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
ආසාත්මිකතාවයට ලක්වූ එම සිසුන් ප්‍රතිකාර සඳහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.

බඹර ප්‍රහාරයක් නිසා සීගිරිය තාවකාලිකව වසා දැමේ

බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබෙනවා.

අද (14) දහවල් එල්ලවූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 30 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමේ කාලය අවසන්

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12.00 න් අවසන් වුණා.

ඒ අනුව හෙට (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර ඇති අතර, අද රැස්වන කොමිෂන් සභාවේ දී ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිතයි.