මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට

මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සමග යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්පෝට් නිකුත් කිරීම සීමාකෙරේ

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවීමට පියවර

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද සිට සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා (මෙම කාලය අතරතුර එළැඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 1, 7 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර) නාමයෝජනා භාරගැනීම 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දින මධ්‍යහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේ දී සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

66cc20ce47ab6

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ඊයේ පස්වරුවේ ගින්න හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා අද මෙරටට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

INS මුම්බායි යුද නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීම ද, එම සංචාරයේ එක් අරමුණක් බවයි සඳහන් වෙන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට භාරදෙයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

2024 ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03වන දා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08වනදා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මරදානේදී දුම්රියක් පීලි පනියි

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 65 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 812 ක්, වෙනත් පැමිණිලි 23 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 1 ක් මේ වන විට වාර්තා වී ඇති බව සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

66c86815f0383

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් එක් වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

T56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගෙන ඇති ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.