දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික ලබාගන්නා ලෙස දැනුම්දීමක්

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී මගින් සහතික කර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතු වනවා.

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත සහතික කළ යෝග්‍යතා පත්‍ර සහිතව යා යුතු අතර එහිදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහයකයෙකු සමග යායුතු බව අදාළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

පාස්පෝට් ගැටලුව ඔක්තෝබර් 16 වනදා වන විට අවසන් වේවි – විදේශ ඇමති

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දෛනිකව නිකුත් කරන සංඛ්‍යාව දහසකට සීමා කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ

යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් දිවයින පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණ තිබුණා.

තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සහභාගී වන ආර්ථික විවාදය ඇරඹේ

2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති මෙම විවාදයේ දී එක් එක් අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට ලක් කෙරෙන බවයි සඳහන් වන්නේ.

අදාළ විවාදය මෙතැනින් නැරඹිය හැකියි.

66cff7078802a

2024 වසරේ ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා – විදේශ සේවා නියුක්ති කාර්යංශය

ගතවූ මාස 8ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකු ඊයේ (28) පිටත්ව ගොස් තිබුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

IMF සමග සාකච්ඡාවට අපි සූදානම් – රංජිත් මද්දුමබණ්ඩාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සජීවී වීඩියෝ විවාදයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි මුලින්ම ඉල්ලීම් කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායකවරයා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසී සාමාන්‍ය ජනතාවගේ ජිවිතයට බලපාන කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කර ඇති බවද පෙන්වාදී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බවයි රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්පෝට් ලබාගැනීමට Online දින වෙන්කිරීම අද සිට නතර කෙරේ

පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (28) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව මේ දිනවල දැඩි අපහසුතායකට පත්ව සිටින බවයි වාර්තාවන්නේ.

රබර් වගාකරුවන්ට රුපියල් 4000ක පොහොර සහනාධාරයක් මේ සතියේ සිට ලබාදෙනවා – මහින්ද අමරවීර

රබර් වගාකරුවන්ට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් කරුණු පෙන්වා දී ඇති බවත්, ඒ හේතුවෙන් වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අඩු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ හේතුවෙන් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් රාජ්‍ය පොහොර සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.

ශිරාන් බාෂික්ගේ පුත්‍රයා අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

රාන් බාෂික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙසයි සැලකෙන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර තිබෙනවා.

2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එච්. එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.