මැතිවරණ පැමිණිලි 1745 ඉක්මවයි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 31 වනදා දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1676 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 10 ක් හා වෙනත් පැමිණිලි 59 ක් ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

66d5445a7246e

යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සඳහන් වෙන්නේ.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ ජය මූර්තිකා ප්‍රදානය අද

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්තිකා ප්‍රදානය අද (01) කොළඹ දී සිදු කිරීමට නියමිතයි.

තරගය සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් 96 ක්, කෙටිකතා සංග්‍රහ අත්පිටපත් 118 ක්, කාව්‍ය සංග්‍රහ අත්පිටපත් 199 ක් හා මුලින් සිංහල බසින් පළවී තිබූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය සංග්‍රහයක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඉදිරිපත් කළ අත්පිටපත් 20 ක් අතුරින්, දීර්ඝ ඇගයුම් ක්‍රියාවලියකින් පසු අවසන් වටය සඳහා තේරී පත් වූ 12 දෙනකු අතුරින් සිව් දෙනෙකු අද දින ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකාවන් දිනා ගැනීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 10 වැනිදා මෙම ජයග්‍රාහී නිර්මාණ කෘති මුද්‍රණයෙන් එළි දැක්විමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ හි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 12 කින් (නව මිල රු.332)

* පෙට්‍රල් 95 – රු. 02 කින් (නව මිල රු.377)

* ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.307)

* සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.352)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* භූමිතෙල් –  (නව මිල රු.202)

ණය ලබාගෙන ඒවා සොරකම් කරලා රාජපක්ෂලා කෝටිපතියෝ වුනා, මහජනතාව ඒ කරුමය ගෙවනවා – සරත් ෆොන්සේකා

ණය ලබාගෙන ඒවා සොරකම් කරමින්, කොමිස් හා පගා ලබාගෙන ප්‍රතිලාභ නැති ව්‍යාපෘති සිදුකර රාජපක්ෂලා කෝටිපතියන් වූ බවත්, මහජනතාව එම කරුමය ගෙවන බවත් ජනාධිපති ධුර අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

උපදින්නට ඉන්නා දරුවාගේ සිට සෑම කෙනෙකුම මේ වනවිට ලෝකයට ලක්ෂ 10 ක් ණයවී ඇති බව ද, ගන්නා ලද ණයවල ප්‍රතිලාභ ජාවාරම්කාරයින්ට ලැබුණු බව ද, මහජනතාවට නොකා නොබී එම ණය ගෙවීමට සිදුවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

ඡන්දදායකයින්ගෙන් 95%ක් වත් පාවෙන ඡන්ද විය යුතු බවත්, යථාර්තවාදීව කල්පනා කරන්නට පටන් ගත යුතු බවත්, එසේ වුවහොත් පමණක් මේ නරාවලෙන් ගොඩ ආ හැකි බවයි ඔහු සඳහන් කළේ.

එසේ නොවුනහොත් මෙරට දරුවන්ට හා තරුණ තරුණියන්ට අද වැඩිහිටියන් ගත කරන ජීවිතය හෝ තව අවුරුදු දෙක තුනකින් ගත කිරීමට නොහැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ති‍බෙනවා.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු 29 වන දින දක්වා ලැබී තිබුණු මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි සංඛ්‍යාව 1419 ක් වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07 ක්ද, වෙනත් පැමිණිලි 56 ක්ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

වන අලි පහර දීමකින් තරුණයෙක් මරුට

හම්බන්තොට පොලිස් වසමේ දිමුතුගම ප්‍රදේශයේ ඊයේ (29) දහවල් කාලයේ සිදුවූ වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වූ කොග්ගල, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

මරණකරු දිමුතුගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් ගව පාලනයේ යෙදෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බව නීතීඥවරයා අධිකරණයට දැනුම්දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

යම් හෙයකින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත්, සිය සේවාදායකයාට ඇප ලබාදුන්න ද එහි ප්‍රතිඵලයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එවැනි තත්ත්වයකදී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා කෙහෙළිය රඹුක්වැල්ලට සුවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින්නැයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඊට විරුද්ධත්වය දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සඳහන් කළේ, පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා, එය සැළකිල්ලට ගැනීමෙන් පසුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබා දීම පිළිබඳව සළකා බැලිය හැකි බවයි.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර කඩිනම් වාර්තාවක් කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000 ක් යොදවයි

පොලීසියේ 54,000 ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

ඒ අනුව දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉපලෝගම යතුරුපැදි අනතුරකින් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු මරුට

24-08-30
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉපලෝගම යතුරුපැදි අනතුරකින් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු මරුට

අද (30) සවස ඉප⁣ලෝගම ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැකිරාව එප්පාවල මාර්ගයේ මහ මීගස්සෑගම ප්‍රෙද්ශයේදී අද (30) පසවස 4.30ට පමණ මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන ඉපලෝගම පොලිසිය පවසයි..
අනතුරටපත් ලාන්ස් කෝප්‍රල්වරයා ගමන්ගත් බව කියන ස්කූටි වර්ගයේ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ වූ දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ 522 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු ලාන්ස් කෝප්‍රල්වරයෙකු බව පොලිසිය කියයි
මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, ප්‍රෙද්ශයේ පදිංචි ඊරියගම වඩුගෙදර තිළිණ මධුසංඛ දිසානායක නමැති 31 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පොලිසිය කියයි.
මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මෙම අවාසනාවන්ත රිය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ (29) දින විශේෂ නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටි අවස්ථාවේදී බවත්, එම නිවාඩුව අවසන්ව හෙට (31) දිනයේ ඔහු යළී සේවයට වාර්ථා කිරීමට නියමිතව තිබී ඇති බවත් පොලිසිය කියයි..
අනතුරින් බරපතළ තුවාල ලබා සිට ඇති ලාන්ස් කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කර ඇතත්, අනතුරින් බරපතල තුවාල ලබා සිටි ලාන්කෝප්‍රල්වරයා රෝහල් ගතකරන අවස්ථාවේදී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
සිදුව ඇති අනතුරින් ලාන්ස්කෝප්‍රල්වරයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි. අදාළ මළ සිුරර මේ වනවිට එප්පාවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් ඉපලෝගම පොලීස් රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.