ධීවර යාත්‍රා අනතුරකින් තිදෙනෙක් අතුරුදන්

බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්වී, ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ධීවරයින් 04 දෙනෙකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 15 න් පසු

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත්, ඉන් 50,000ක පළමු තොගය ඔක්තෝබර් 15 වැනි දා වනවිට මෙරටට ලැබෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹෙයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

අද දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 06 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ

පුරාවස්තු අලෙවි කිරීමට රැගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කිහිපයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු පාදුක්ක නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල හදිසි වැටලීමකදී එම පුරාවස්තු අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම වෑන් රථයේ තිබී කිරිගරුඬ බුදු පිළිමයක්, වාලම්පූරියක්, පැරණි කාසි දෙකක් සහ මැටි පිඟානක් සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ ‍තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

හෙට දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව සැප්තැම්බර් 05 සහ 06 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මර්දනයට එරෙහිව වෛද්‍යවරුන් අද දහවල් විරෝධතාවල

බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද (03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ කාලය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම විරෝධතා ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට ආරම්භ වෙයි

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (03) සිට ආරම්භ වනවා.

ලබන 14 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැර අවසන් කිරීමට පියවර ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

මේ සඳහා තැපැල්කරුවන් 8000 ක් යොදා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නැහැ – ගමනාගමන කොමිෂන් සභාව

ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා.

විදර්ශන සාහිත්‍ය ත්‍යාග ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කරයි

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සම්මාන උළෙල ඊයේ (01) රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ කෙටි ලැයිස්තුගත වූ අත්පිටපත් අතරින්, හොඳම නවකතාව ලෙස යසස් සමන්ත වීරසිංහ ගේ ‘වැහිපීල්ලක අතරමංව’ ද, හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස අජිත් පැරකුම් ජයසිංහ ගේ ‘සූදුරු අබා’ ද, හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස උපුල් සේනාධිරිගේ ගේ ‘ඉඳුදුන්න නැමුණු තැන’ ද, හොඳම ඉංග්‍රීසි පරිවර්තනය ලෙස ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක කෘතිය ‘The Maker of Accidents’ ලෙස පර්වර්තනය කළ අශාන්ති ඒකනායකද සම්මාන හිමි කර ගත්තා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට මෛත්‍රිට එරෙහිව ගොනුකල පෙත්සමක් සලකා බැලීමට දින නියම කෙ​රේ

අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ, තම සේවා දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුවයි අදාළ පෙත්සම ලබන 27 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.