ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ඉල්ලීමක් කරනවා.

ඒ අනුව විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ.

ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IMF වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කෙරේ

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.

ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ PhD උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity Development Advisor ලෙස කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධව ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී මේ වන විට පැවැත්වෙන උත්සවයේදී ඔහු දිවුරුම් දෙනු ලැබුවා.

අනුර කුමාර දිසානායක ජනපති ධුරයේ දිවුරුම්දීමේ උත්සවය ආරම්භ වෙයි

ශ්‍රි ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක දිවුරුම්දීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ දිවුරුම්දීමේ කටයුත්ත සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් දිවයිනෙන් පිටව යයි

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව අද අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ CX.610 දරණ ගුවන් යානයෙන් එම හිමියන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර නැතත් ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති අනුර බව පැහැදිලියි – සාලිය

අවසන් ප්‍රතිඵලය තවම ප්‍රකාශයට පත් කර නැතත්, ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බව මේ වන විට පැහැදිලි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

රජයක් පිහිටුවීමේදී, බල පෙරළියේ සැරිසැරීමේදී සහ මහ මැතිවරණයක් කැඳවීමේදී නව ජනාධිපතිවරයාට සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

විධායක ජනාධිපති ක්‍රමය සතු අතිමහත් බලතල පිළිබඳව ප්‍රවේශම් වන ලෙසත් මහජන වගකීම පිළිබඳ හැඟීමකින් යුතුව ඒවා ක්‍රියාත්මක කරන ලෙසයි සාලිය පීරිස් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

66ef737906bf1

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන අනුරට සුබ පතනවා – හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සුබ පතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

66ef6b5f26123