නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවයි නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ.

නිලන්ත ජයවර්ධනට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 9.30ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසනවා.

ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66f65c51aea55pdf_page_0

නපති මන්දිරය අසල මාර්ග දෙකක් මහජනතාවට විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපතිට ලෝක බැංකු සමූහයෙන් සුබ පැතුම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය  උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස සුබ පැතුම් එක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දෙන බවත්, ඒ සඳහා රජයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන අතර ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාව ද ඒ හා සමානව වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්​ව භාර නොදීම ගැන පරීක්ෂණයක් පවත්වනවා – වසන්ත සමරසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරදීමකින් තොරව, තැන් තැන්වල ගාල්කර යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833 ක් ලේඛණ ගතව ඇති බවත් එයින් වාහන 29 ක් අතුරුදන්ව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ වාහන තැන් තැන්වල ගාල් කරන ලද පිරිසගේ විස්තර මේ වනවිට ඉල්ලා ඇති බවයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගී රථ වාහන රැසක් ගාලු මුවදොර බාලදක්ෂ මාවත අසල රථගාලට ඊයේ (24) සිට ගෙනැවිත් දමා තිබුණා.

66f3dc8a22178 66f3dc89c5b2e

මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ යළි වැඩ භාරගනියි

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ඔහු විසින් හදාරා තිබෙනවා.

ජනපති, මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඊයේ (24) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රැසක් එම සාකච්ඡාවේදී දීර්ඝව සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ජනපති අනුර අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 7.30 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් අයෙක් අත්අඩංගුවට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක් බවයි සඳහන් වෙන්නේ.

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට CID යෙන් විමර්ශන

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.