නාමල් රාජපක්ෂගේ බිරිඳ දිවයිනෙන් පිටව යයි

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව ඇය සහ ඇයගේ පියා අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ EK.649 දරණ ගුවන් යානයෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඇඳිරි නීතිය අද මධ්‍යහ්න 12.00 දක්වා දීර්ඝ කෙරේ

ඇඳිරි නීතිය අද මධ්‍යහ්න 12.00 දක්වා දීර්ඝ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඊයේ රාත්‍රී පැනවූු ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00 ට අවසන් වීමට නියමිතව තිබුණත් මෙම තීරණය හේතුවෙන් එය අද මධ්‍යහ්න 12.00 දක්වා ක්‍රියාත්මක වනවා.

මෙතෙක් කිසිඳු බරපතල තත්ත්වයක් වාර්තා වී නැහැ – පැෆරල් සංවිධානය

ඡන්ද විමසීම ආරම්භවී මේ දක්වා බරපතල තත්ත්වයක් වාර්තා නොවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව සුළු සිදුවීම් 35 ක් පමණක් අද (21) දිනයේ වාර්තාවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66ee4ddd71c06

ප්‍රදේශ කිහිපයකට මේ වන විට වැසි තත්ත්වයක්

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සහ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි තත්ත්වයක් ඇදහැලෙමින් ඇති බව වාර්තා වනවා.

ඡන්ද දායකයින් වැසි සහිත කාලගුණ තත්ත්වය මධ්‍යයේ සිය ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විදෙස් ගතවීමට ගුවන් තොටුපලට පැමිණි ඩෑන් ප්‍රියසාද් හරවා යවයි

විදෙස්ගත වීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටුපොළින් නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඊයේ (20) රාත්‍රීයේ 08.35 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ EK 653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ඇරඹෙයි

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කර තිබෙනවා.

මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය ඒ අනුව යොමු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 ක් වන අතර, ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අද අලු‍යම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද (20) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සහ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මැතිවරණ රාජකාරිවල යෙදීම හේතුවෙන් මැතිවරණ කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් මැතිවර​ණ රාජකාරීවලින් ඉවත් කරයි

රාජ්‍ය නිළධාරින් 9 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබෙන බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්.පී. සුමනසේකර පවසනවා.

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9 දෙනෙකු මෙලෙස ඉවත් කළ බවයි ඔහු සඳහන් කළේ.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කළමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිලධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19 දෙනා අතුරින් නිලධාරීන් 9 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.