ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03, අද දිනට යෙදී තිබෙනවා.

අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ අරමුණ ඇතිව මෙම දිනය නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මද්‍යසාර භාවිතය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව වාර්තාවල දැක්වෙනවා.

ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.301 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01) පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.292.00 ක් ලෙස හා විකුණුම් මිල රු.301.05 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66fbcb0d36822

ලිට්‍රෝ ගෑස් සමාග​මේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධ​න පත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබෙනවා.

ඒ අනුව අද (01) දිනයේ සිට අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අංශයෙන් පළමු පන්තියේ උපාධියක් ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු දිවයිනේ ප්‍රමුඛතම CIMA කථිකාචාර්යවරයෙක් ලෙස සැලකෙනවා.

දංකොටුව පෝසිලේන්, Aitken Spence Group සහ Hirdaramani Group හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර ඔහු තවත් සමාගම් කිහිපයකම විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනපති අනුර සහ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ඇය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙම හමුව අතරතුරදී විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් උත්සව නොමැතිව ජනතා අයිතියට පැවරීමට අගමැතිගෙන් උපදෙස්

රීඩා මධ්‍යස්ථාන පහක් කිසිඳු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ,  මාතලේ,  බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන පහක් මෙලෙස කිසිඳු උත්සවයක් පැවැත්වීමකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදී වැඩ නිම කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට සඳහන් ප්‍රශ්න 3 සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීම සුදුසු බවට විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

විභාගය නැවත පැවැත්මීමට සිදුවුවහොත් අවුරුදු 10 ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටම දැඩි බලපෑමකට හා පීඩාවක් ඇති කරන බවයි එම විශේෂඥ කමිටුව සිය නිර්දේශය ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබෙන්නේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා අගමැතිනියගේ උපදෙස් පරිදි අධ්‍යාපන හා වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබුණා.

ඒ අනුව එම විද්වත් කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66f94d6bae010

ජනපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වෙයි

සාහිත්‍ය මාසය නිමිත්තෙන් 25 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ එක් වී තිබෙනවා.

පොත් ප්‍රදර්ශන කුටි 400කින් පමණ සමන්විත ප්‍රදර්ශනයේ කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකිත්ති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාර දික්කුඹුර, අධ්‍යක්ෂ සමන්ති ජයසූරිය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝදානික නිර්මාණ අංශයේ අංශාධිපති රුවන්දිකා සේනානායක මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 74ක්.

නිල නිවාස සහ බංගලා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.