විභාග නොකළ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති දැනුම්දෙයි

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය දැනුම්දී තිබෙනවා.

එසේම පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

ජනපතිවරණ අපේක්ෂකයින් 34ක් මෙතෙක් ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී නැහැ – මැතිවරණ කොමිසම

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ක් වන අතර ඒ අනුව ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු අතර අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම හෙට සිට ඇරඹේ

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වනවා.

ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි ජනලේඛන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

දැනට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව එළඹෙන 07වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6701dec62c35b

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය යළි ඇරඹේ

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ආනයනය පසුගිය 01 වනදා සිට නැවත ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම මෙම වසරේ දෙසැම්බර් 01 වනදා සිට ද, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනය ලබන වසරේ පළමු කාර්තුව තුළ ද ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ ශ්‍රී ලංකා රජය විසින් අත්හිටවූ වාහන ආනයනය, අදියර 3ක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට උපදෙස්

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිහාල් තල්දූව පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර පොලිස් මුලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදි එම උපදෙස් ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.

අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් තවදුරටත් විමර්ශන කළ යුතු බව සාකච්ඡාවේදි දැනුම් දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදීමට ද නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා

ස්වීඩන් තානාපති අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ස්වීඩන් රජයේ සුබපැතුම් එක් කර තිබෙනවා.

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ශ්‍රී ලාංකික සිසුන්ට එරට පවතින අධ්‍යාපන අවස්ථා සහ වීසා ගැටලු විසඳීමටත් ස්වීඩන් රජයේ අවදානය යොමු වී තිබෙන බවයි එහිදී ඔහු සඳහන් කර ඇත්තේ.

ළමා පෝෂණය පිළිබඳ ගැටලුව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ස්වීඩන් තාපාතිවරයාගේ අවදානයට යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගිය ද, පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු තවමත් පවතින බව ද ඇය සඳහන් කර තිබෙනවා.

සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එහි සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ.

දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකාවට පැමිණි IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (04) සිය සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ඔවුන් ජනාධිපති අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව ආර්ථිකව ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව සියල්ලන්ම එකඟ වූ බවත් ඔහු පවසා සිටිනවා.

එසේම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම ඔවුන් දිරිමත් කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙහෙළියට එරෙහි නඩුවක් නොවැම්බර් 29 කැඳවන ලෙස නියෝග කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ නඩුව කලින් නියම කළ පරිදි නොවැම්බර් මස 29 වනදා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල් 240,000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.